පාන් ගෙඩියේ ඉතිහාසය

1994 වසරේ බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය ලබාදුන් මැතිවරණ පොරොන්දු අතුරින් එකක් වුණේ, එම අවධිය වන විට රුපියල් 5.50කට පැවති පාන් ගෙඩියක මිල රුපියල් 3.50 දක්වා අඩු කරන බව යි. එම අවධිය වන විට ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය වී තිබුණු පාන්, යුරෝපීයයන් විසින් අප රටට හඳුන්වා දෙනු ලැබූවක්. 16 වැනි සියවසේ දී ලාංකිකයන් පාන් පිළිබඳව දැනගත්තත්, ඊට වසර දහස් ගණනකට පෙර එහි උපත සිදු වුණා. 

පාන් ගෙඩියේ ආරම්භය පිළිබඳව ගොඩනැගී ඇති මතය 

ඈත අතීතයේ ජීවත්වුණු මිනිසුන් හපන්නට අපහසු වුණු ඇට වර්ග ගලකින් තලාගෙන, එම ඇට ජලය යොදා අනාගැනීමෙන් පසුව ලැබුණු මිශ්‍රණය රත් වුණු ගලක්‌ මත තබා පුළුස්‌සා ගත්තා. එම ක්‍රියාවලිය පාන් ගෙඩියේ ඉතිහාසයේ ආරම්භය ලෙස සලකන්නට හැකියාව ඇතැ යි මානව විද්‍යාඥයන්ගේ අදහස වී තිබෙනවා. එසේම මීට වසර 30,000කට පමණ පෙර විසූ මිනිසුන් කැලෑ තිරිඟු සහ බාර්ලි කුඩු කර ජලය සමග මිශ්‍ර කර පාන් සාදා ආහාරයට ගත් බව ඔප්පු කළ හැකි සාක්ෂ්‍ය සමහර රටවල්වල තිබෙන පැරණි ජනාවාස ආශ්‍රිතව සිදුකරන ලද කැණීම්වල දී හමු වුණා. ඉන් පැහැදිලි වන්නේ මීට වසර දහස් ගණනකට පෙර ලෝකයේ ජීවත් වුණු මිනිසුන් ප්‍රාථමික ක්‍රම අනුගමනය කරමින් පාන් සාදා ඇති බවයි.

ඊජිප්තු ජාතිකයන් විසින්ක්‍රමවත්ව පාන් නිපදවනු ලැබුවා 

මුල්ම වරට ක්‍රමවත්ව ආකාරයට පාන් නිපදවනු ලැබුවේ ඊජිප්තු වැසියන්. එසේම යීස්ට් නම් පිපුම්කාරක ද්‍රව්‍යය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ ද ඊජිප්තු ජාතිකයන්ට යි. එදා තිරිඟු පිටියෙන් යීස්ට් යොදා පාන් නිෂ්පාදනය කළ ඊජිප්තු වැසියන් ඒවා පුළුස්සා ගැනීම සඳහා පාන් පෝරණු භාවිතා කළා. එකල ඊජිප්තුවේ සෑම ගමකම වාගේ පෝරණු තිබුණු බව සඳහන් වනවා. එසේම ඈත අතීතයේ සිටම ඊජිප්තුව තුළ පාන් භාවිතා කළ බව කියවෙන සාක්ෂ්‍ය පිරමීඩ තුළින් හමු වුණා. ඒ පිරමීඩ තුළ සිතුවම් කළ ඇති සමහර චිත්‍රවල පිළිස්සු පාන් දක්නට ලැබීම යි.

යුරෝපය තුළ පාන් ජනප්‍රිය වීම 

මධ්‍යතන යුගයේ දී පාන් යුරෝපය තුළ ජනප්‍රිය වුණා. එම යුගයේ දී බ්‍රිතාන්‍යය ජාතිකයන් රයි පිටි යොදා නිෂ්පාදනය කළ මස්ලින් නම් පාන් වර්ගය ඉතාමත් ජනප්‍රිය වුණා. එම අවධියේ දී බේකරිවල වැඩ කටයුතු කිරීම සඳහා ජල මෝල් යොදාගනු ලැබුවා. 

15 වන ශත වර්ෂය පමණ වන විට බ්‍රිතාන්‍යය තුළ නිපදවූ පාන්වලට සහතික මිලක් නියම කළා. ඒ අනුව පාන් රාත්තලක් අලෙවි කිරීමට නියම වුණේ පැන්ස 1ක මුදලකට යි. වැඩි මුදලට පාන් විකුණන බේකරි හිමියන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමයක් බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක වුණා. එම දඬුවම් ක්‍රමයේ දී අදාළ බේකරි හිමියාගේ බෙල්ලේ පාන් ගෙඩියක් එල්ලා ජනාකීර්ණ වීදී දිගේ ඇදගෙන යාම සිදු වුණා. එවැනි දඬුවමක් විඳීමෙන් විශාල අවමානයකට මුහුණපාන්නට සිදුවන නිසා බේකරි හිමියන් නියමිත මුදලට පාන් අලෙවි කළා. 

බ්‍රිතාන්‍යයේ මෙන්ම ඉතාලියේ රෝම නගරයේ ද පාන් ජනප්‍රිය වී තිබුණා. එම නිසා පාන් අලෙවි කිරීම සඳහා වෙනම නීතිරීති පනවා තිබුණා. ඒ අනුව අලෙවි කරන සෑම පාන් ගෙඩියකම බේකරියේ නම යෙදීම අනිවාර්ය වුණා. එසේම ධනවතුන් සඳහා මෘදු පාන් ද දුප්පතුන් සඳහා රළු පාන් ද නිෂ්පාදනය කළා. එලෙස පාන් නිෂ්පාදනය කළ බේකරිවල වැඩ කටයුතු කිරීම සඳහා බහුලවම බූරුවන් යොදාගනු ලැබුවා. 

ලංකාවට පාන් හඳුන්වා දීම 

1505 වසරේ දී මෙරටට පැමිණි පෘතුගීසි ජාතිකයන් පාන් ආහාරයට ගනිමින් වයින් පානය කරමින් සිටින අයුරු දුටු රජුගේ චරපුරුෂයන්, ‘තිරිවානා ගල් කැට කමින් ලේ බොන පිරිසක් ගොඩ බැස සිටින බව’ රජුට දන්වා සිටියා. මෙරට ඉතිහාසය තුළ පාන් පිළිබඳව සඳහන් වන මුල්ම අවස්ථාව එය යි. එම යුගය වන විට පෘතුගීසි ජාතිකයන් අතර වඩාත් ජනප්‍රිය වී තිබුණු පාන් ඔවුන් ‘පාඕ’ ලෙසින් හඳුන්වනු ලැබුවා. පෘතුගීසින්ගෙන් පසුව ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් මෙරට යටත් කරගෙන සිටියා. වසර 400කට වැඩි කාලයක් යුරොපීයයන් මෙරට යටත් කරගෙන සිටි නිසා ඔවුන් අනුභව කළ කෑම වර්ග සෑදීමට අප රටේ ජනතාව පුරුදු වුණා. ඒ අනුව පාන් අනුභව කිරීම සඳහා ලාංකිකයන් හුරු වුණේ යටත් විජිත පාලනය පැවති යුගයේ දී යි.

මුල් යුගයේ දී පාන් අනුභව කළේ මෙරට ඉහළ පැළැන්තියේ අය පමණ යි 

වර්තමානය වන විට පාන් දුප්පතාගේ කුසගින්න නිවීම සඳහා දායක වුණත් යටත් විජිත යුගයේ දී මෙරට සාමාන්‍ය ජනතාව පාන් ආහාරයට ගත්තේ නැහැ. එම අවධියේ දී ඔවුන් තුන් වේලටම බත් ආහාරයට ගැනීමට පුරුදුව සිටියේ අඩුවක් නැතිව සහල් රට පුරා තිබුණු නිසා යි. නමුත් එකල ඉහළ පැළැන්තියේ උදවිය බටර් තැවරූ පාන් ආහාරයට ගැනීමට පුරුදුව සිටියා. ඒ අනුව 20 වැනි සියවසේ මුල් දශක කිහිපය ගෙවෙන තුරු තිරිඟු පිටිවලින් සැදූ ආහාර මෙරට තුළ ජනප්‍රියව තිබුණේ නැහැ. එසේම මෙරටට වැඩි වශයෙන් තිරිඟු පිටි ආනයනය කිරීමක් ද සිදුවුණේ නැහැ.

දෙවන ලෝක යුද්ධය නිසා මෙරට පාන් ජනප්‍රිය වුණු හැටි 

දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගම මෙරට සහල් නිෂ්පාදනය අඩාල වුණා. එම නිසා රට තුළ ආහාර අර්බුදයක් නිර්මාණය වන ලකුණු පෙනෙන්නට තිබුණා. එලෙස ආහාර අර්බුදයක් ඇතිවීම වැලැක්වීම සඳහා ඉංග්‍රීසින් ජාතිකයන් බුරුම රටෙන් සහල් ආනයනය කරනු ලැබුවා. නමුත් යුද්ධය පෙරදිග රටවල් කරා පැතිර යාම හේතුවෙන් සහල් ආනයනයට බාධා ඇති වුණා. එයට විසඳුමක් ලෙස ඕස්ට්‍රේලියාවෙන් තිරිඟු සහ තිරිඟු පිටි ආනයනය කළා. එලෙස ආනයනය කළ තිරිඟු පිටි යුද සමයේ දී ලබාදුන් ආහාර සලාකවලට ද එකතු කරනු ලැබුවා. එදා තිරිඟු පිටි භාවිතා කරමින් සෑදූ පාන් ක්‍රමයෙන් අප රට තුල ජනප්‍රිය වුණා. එම නිසා දෙවන ලෝක යුද්ධය නිමාවීමෙන් පසුව අඛණ්ඩව මෙරටට තිරිඟු පිටි ආනයනය කරන්නට වුණා.

පසුකලෙක පාන් ගෙඩිය දුප්පතාගේ හිතවතා බවට පත් වුණා 

යටත් විජිත යුගයේ දී මෙරටට හඳුන්වාදුන් පාන් නම් ආහාරය නිදහස ලැබීමෙන් පසුව අප රට තුළ වඩාත් ජනප්‍රිය වුණා. එයට තිබුණු ඉල්ලුම නිසාම රටේ සෑම නගරයක් ආශ්‍රිතවම බේකරි ඉදි වුණා. අඩු මුදලක් වැය කර ආහාර වේලක් සකසා ගැනීමට හැකි වීම නිසා ටික කලක් යන විට පාන් ගෙඩිය දුප්පතාගේ හිතවතා බවට පත් වුණා. නමුත් වර්තමානය වන විට පාන් මෙරට ජනප්‍රිය ආහාරයක් බවට පත්ව තිබෙන්නේ අවම ශ්‍රමයක් වැය කර ආහාර වේලක් සපයාගත හැකි නිසා යි. එම නිසා බොහෝ නිවෙස්වල රාත්‍රී ආහාරය බවට පත්ව තිබෙන්නේ පාන්. 

මීට සියවසකට පමණ පෙර ලාංකිකයන් සාපේක්ෂව නිරෝගීව සිටියා. ඒ ඔවුන් අනුගමනය කළ ආහාර රටාව නිසා යි. නමුත් අද වන විට බොහෝ දෙනෙකු අකාලයේ දියවැඩියාව, ස්ථුලතාව වැනි රෝගාබාධවලට ගොදුරු වී සිටීමට හේතුව ලෙස ද පාන් වැනි තිරිඟු පිටියෙන් සාදන ආහාරවලට හුරුවීම දැක්විය හැකියි.

Rate This Article

Thanks for reading: පාන් ගෙඩියේ ඉතිහාසය, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.