තවත් මහා වඳ වීමක් අතීතයේ සිදු වී තිබේ

 


තවත් මහා වඳ වීමක් අතීතයේ සිදු වී තිබේ

ලෝකයේ විශාල භූගෝලීය ප්‍රදේශයක වාසය කළ ජීව විශේෂ විශාල ප්‍රමාණයක්, සාපේක්‍ෂ ව කෙටි කාලයක් ඇතුළත වඳ වී ගිය අවස්ථා ‘මහා වඳ වීම්’ (Mass extinctions) යනුවෙන් හැඳින්වේ. ලෝක ඉතිහාසයේ මේ දක්වා සිදු වී ඇති මහා වඳ වීම් පහක් මේ වන විට විද්‍යාත්මක ව පිළිගැනේ.

එහෙත්, අතීතයේ පෘථිවියේ තවත් මහා වඳ වීමක් සිදු වී ඇති බව පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී තිබේ. අදින් වර්ෂ මිලියන 550කට පෙර සිදු වූ ඒ මහා වඳ වීම අනෙක් මහා වඳ වීම් සියල්ලට ම පෙර සිදු වූවකි. එසේ ම සඳහා හේතු වී ඇත්තේ වායුගෝලීය ඔක්සිජන් ප්‍රමාණයේ සිදු වූ අඩු වීමකි.

ඊඩියාකරන් අවධියේ සිදු වීමක්

අදින් වර්ෂ මිලියන 635 සිට 538 අතර කාලයේ දී පැවැති ඊඩියාකරන් අවධිය (Ediacaran Period) ලෙස භූ විද්‍යාත්මක ව හැඳින්වෙන කාලය යනු ලෝකයේ සාගරවල ජීවය හොඳින් වර්ධනය වෙමින් තිබූ කාලයකි. මේ කාලයේ පෘථිවියේ සාගරවල ජීවත් වූ ජීවීන් අතර පිහාටු වැනි ශරීර ඇති පෙටලොනොමිඩ (Petalonamids) සතුන් ජීවත් වූයේ ජලයෙන් පෝෂක අවශෝෂණය කර ගනිමිනි. හම්බෙල්ලන් වැනි Kimberella ගණයේ සතුන් ක්‍ෂුද්‍ර ජීවීන් මත යැපුණු අතර, ජෙලි ෆිෂ් හෙවත් ලොඩියන්ගේ පූර්වජයන් ව්‍යාප්ත වීම ආරම්භ වූයේ ද මේ කාලයේ දී ය.

මේ කාලයේ විසූ ජීවීන්ගේ ෆොසිල විවිධත්වයේ විශාල අඩු වීමක් වර්ෂ මිලියන 550කට පෙර දැකිය හැකි වූ අතර, කෙටි කාලයක් ඇතුළත මේ ජීවීන් අතරින් 80%ක් පමණ ප්‍රමාණයක් වඳ වී ගොස් ඇති බව අනාවරණය වී තිබිණි. මේ තත්ත්වය කලක් තිස්සේ දැන සිටිය ද එය මහා වඳ වීමක් වූයේ ද යන්න පිළිබඳ ව කිසියම් සැකයක් තිබිණි. එසේ ෆොසිල හමු වීම විශාල ලෙස අඩු වීම සඳහා හේතු දෙකක් දක්වා ඇත. ඉන් එකක් වන්නේ සාගර ආත්‍රපෝඩාවන් අතර සිටි වීමෙන් සමග ඇති වූ මුල් කාලීන ට්‍රයිලෝබාටාවන් (Trilobites) බහුලව ව්‍යාප්ත ඊඩියාකරන් අවධියේ සතුන් තරගය නිසා ඊඩියාකරන් අවධියට අයත් සෙසු සතුන් වඳ වී යෑම ය. අනෙක් තර්කය වන්නේ ඊඩියාකරන් අවධියේ සතුන්ගේ ශරීර ආරක්‍ෂා වීමට සුදුසු තත්ත්ව පැවතියේ මිලියන 550කට පෙර කාල සීමාව දක්වා පමණක් ය යන අදහසයි. මේ හේතු සත්‍ය නම් උක්ත සිදු වීම මහා වඳ වීමක් නො වේ.

මහා වඳ වීමක් බවට සාධක

කෙසේ වෙතත් මේ නව පර්යේෂණයෙන් පෙන්වා දී ඇත්තේ ඊඩියාකරන් අවධියේ සිදු වූ ජීවීන් වඳ වී යෑම පෙර සඳහන් කරුණු නිසා සිදු වී නොමැති බවයි. එහි දී පර්යේෂකයන් ඊඩියාකරන් අවධියේ ජීවත් වී වඳ වී ගිය, වඳ වී නො ගිය හා වඳ වීමේ සිදු වීමෙන් පසුව හොඳින් ව්‍යාප්ත වූ ජීවීන් පිළිබඳ ව අධ්‍යයනය කර ඇත. සඳහා ඒ යුගයේ ෆොසිල පිළිබඳ මෙතෙක් ප්‍රකාශිත පර්යේෂණ යොදා ගනිමින් දත්ත සමුදායක් සකස් කර, ඒවා හමු වූ භූගෝලීය ප්‍රදේශය, දේහ ප්‍රමාණය, ආහාර ගන්නා ආකාරය අනුව කාණ්ඩ කර තිබේ. ඒ අනුව වර්ෂ මිලියන 550කට පෙර වාසය කළ සත්ත්ව ගණ 70ක් අතරින්, ඉන් වර්ෂ මිලියන 10කට පසුව කාලය වන විට ජීවත් වී ඇත්තේ ගණ 14ක් පමණක් බව අනාවරණය වී ඇත. එසේ ම ට්‍රයිලෝබයිටයන් වැනි සතුන් හා තරග කිරීමෙන් ඒ සතුන් වඳ වී ගිය බවට සාධක සේ සැලකිය හැකි ආකාරයේ ආහාර ගැනීමේ රටාවේ වෙනසක් හමු වී නොමැත. අනෙක් අතට ෆොසිල ආරක්‍ෂා වීම සඳහා බලපාන තත්ත්වවල වෙනසක් ද ඒ කාලයේ ඇති වූ බවක් හෙළි වී නොමැත.

මේ අනුව පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙසේ ෆොසිල අඩු වී යෑම මහා වඳ වීමක් විය හැකි බවත් ඒ සඳහා සෙසු මහා වඳ වීම් මෙන් ම දේශගුණයේ ඇති ම වූ වෙනස් වීමක් හේතු විය හැකි බවත් ය. එසේ සංකීර්ණ සත්ත්ව ගහන මිය යෑමට හේතුව ඔක්සිජන් සාන්ද්‍රණයේ කැපී පෙනෙන අඩු වීමක් විය හැකි බව අනුමාන කර ඇත. ඊට සාධක ලෙස සැලකිය හැකි අපූරු කරුණක් ද අනාවරණය වී ඇත. එනම්, ඒ වඳ වීමෙන් ආරක්‍ෂා වූ ජීවීන් අතර ඇති සමානකමකි. ඒ සතුන්ගේ දේහ පරිමාවට සාපේක්‍ෂ ව දේහ පෘෂ්ඨය ඉහළ වීම මේ සාධකයයි. මෙය අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ඇති තත්ත්වයක් යටතේ ජීවත් වීම සඳහා සුදුසු හැඩ ගැසීමකි. එය සහ භූ-රසායනික සාධකවලින් අනාවරණය

වන ඔක්සිජන් ප්‍රමාණයේ අඩු වීමත් සමග ගත් විට ඊඩියාකරන් යුගය අවසානයේ සාගරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා ඇති වූ මහා වඳ වීමක් සිදු වූ බව ඔවුන්ගේ අදහසයි. මෙහි දී ඔක්සිජන් අඩු තත්ත්ව යටතේ ජීවත් වීමට නො හැකි ජීවීන් වඳ වී ගොස් තිබේ.

මේ කාලයේ දී ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමට හේතු වූ කරුණු තවමත් අපැහැදිලි ය. ගිනි කඳු පිපිරීම්, භූ තැටි චලනයේ බලපෑම් මෙන් ම ග්‍රහකයක බලපෑම වැනි හේතු මේ අතර වේ. එමෙන් ම, සාගරයේ පෝෂක මට්ටම්වල වෙනස්කම් ද මීට හේතු විය හැකි ය. මේවායෙන් කීපයක් ද ඊට හේතු විය හැකි ය.

මහා වඳ වීම් ගණන කීය ද?

උක්ත අධ්‍යයනයෙන් ඉදිරිපත් කරනු ලබන මහා වඳ වීම පිළිගැනීමට ලක් වුව හොත් එය ලෝකයේ ඇති වී තිබෙන පළමු වැනි මහා වඳ වීම වේ. එසේ නම් මේ වන විට ලෝකයේ මහා වඳ වීම් හයක් සිදු වී ඇත. එවිට අද මිනිසුන්ගේ කටයුතු නිසා ඇති වෙමින් තිබෙන බවට අනතුරු හඟවන්නේ හය වැනි නො ව සත් වැනි මහා වඳ වීමයි.

මහා වඳවීම් පහ

1. ඕඩො වීසියන් – සිලුරියන් මහා වඳ වීම (Ordovician-Silurian extinction) මෙය අදින් වර්ෂ මිලියන 443.8කට පමණ පෙර සිදු වූවකි. එහි දී සාගර ජීවී විශේෂ අතරින් 85% ක් පමණ වඳ වී ගොස් ඇත.

2. ඩෙවෝනියන් මහා වඳ වීම (Devonian extinction) මෙය අදින් වර්ෂ මිලියන 407.6ත් 358.9ත් අතර කාලයේ දී සිදු විය. එයින් වැඩි ම බලපෑමකට ලක් වූයේ සාගර ජීවීන් ය. සතුන් අතරින් 70% – 80% අතර ප්‍රමාණයක් වඳ වී ගොස් ඇත.

3. පර්මියානු මහා වඳ වීම (Permian extinction) ඇතැම් විට පර්මියානු-ට්‍රයාසික මහා වඳ වීම ලෙස ද හැඳින්වෙන මෙය අදින් වර්ෂ මිලියන 265.1 ත් 251.9 ත් අතර කාලයේ දී සිදු වී ඇත. එහි දී ලෝකයේ විසූ මුළු ජීවීන් අතරින් 90% ක් පමණ වඳ වී ගිය අතර, ඊට සාගර ජීවීන් අතරින් 95% ක් ද, භෞමික ජීවීන් අතරින් 70% ක් පමණ ද අයත් විය. මෙතෙක් ඇති වූ බරපතළ ම මහා වඳ වීම සේ සැලකේ.

4. ට්‍රයාසික යුගය අවසානයේ සිදු වූ මහා වඳ වීම (end – Triassic extinction) ඇතැම් විට ට්‍රයාසික – ජුරාසික මහා වඳ වීම (Triassic-Jurassic extinction) ලෙස ද හැඳින්වෙන මෙය අදින් වර්ෂ මිලියන 201.3 කට පමණ පෙර සිදු වූවකි. එයින් සාගර හා භෞමික ජීවී විශේෂ 76% ක් පමණ වඳ වී ගොස් ඇත.

5. ක්‍රිටේසීය – තෘතීයික මහා වඳ වීම(Cretaceous-Tertiary extinction) ඇතැම් විට ක්‍රිටේසීය – පැලි යොජින මහා වඳ වීම (Cretaceous-Paleogene) ලෙස ද හැඳින් වෙන මෙය අදින් වර්ෂ මිලියන 66කට පමණ පෙර සිදු වූවකි. එයින් පෘථිවිය මත ජීවත් වූ සත්ත්ව විශේෂ අතරින් 80%ක් ද ශාක විශාල ප්‍රමාණයක් ද වඳ වී ගියේය. ඊට ඩයිනසෝරයන් ද ඇතුළත් ය.

Source - Vidusara

Rate This Article

Thanks for reading: තවත් මහා වඳ වීමක් අතීතයේ සිදු වී තිබේ, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.