සර්ප හිසකෙස් තිබූ සුන්දර යක්ශණිය: මෙඩූසා


ග්‍රීක පුරාවෘත්තවල සඳහන් මෙඩූසා පියාපත් සහිත යක්ෂණියක ලෙස හැඳින්වෙනවා. ඇයගේ විශේෂිතම ලක්ෂණය වන්නේ හිස මත කෙස් වෙනුවට සර්පයින් පිහිටා තිබීම යි. 

බොහෝ ප්‍රවාදයන්ට අනුව මෙඩූසා ඉතා සුන්දර රූපයක් සහිත කාන්තාවකව සිට තිබේ. මුහුදු දෙවිවරුන් වන ෆෝකිස් සහ කීටෝට දාව උපන් මෙඩූසාට සහෝදරියන් දෙදෙනෙකු සිටියා. ඇතැම් පුරාවෘත්තයන්ට අනුව මේ සොයුරියන් තිදෙනාම යක්ෂණියන්. නමුත් ඇතැම් කතාවලට අනුව මෙඩූසා ඉතාමත් රූමත් මනුෂ්‍ය තරුණියක්. මේ කතා අතරින්, මෙඩූසා යක්ෂණියක් බවට පත්වීමේ සිට ඇගේ මරණය තෙක් කතාව ග්‍රීක මිථ්‍යා කතා අතර ඉතා ප්‍රසිද්ධ එකක් වන්නේ එහි ඇති ආකර්ෂණීය බව නිසාම යි.

ඉතා සුන්දර තරුණියක වූ මෙඩූසාට ඉතා ආකර්ශනීය රූපයක් ද, අලංකාර කෙස් කළඹක් ද තිබුණු බව පුරාවෘත්තයන් සඳහන් කරනවා. මුහුදට අධිපති දෙවියන් වූ පොසයිඩන් ඇය දැක, සිය සිතෙහි ඇය පිළිබඳ ආශාවක් ඇති කරගෙන තිබෙනවා. එනිසා ඔහු ඇතීනා දෙවඟනට අයත් දෙව්මැදුරක් තුළ දී මෙඩූසා සමග බලහත්කාරයෙන් ලිංගිකව එක්වූ බවත් ග්‍රීක පුරාවෘත්තවල සඳහන්. තමාට අයත් දෙව් මැදුරක් තුළ මොවුන් මෙසේ හැසිරීම පිළිබඳ කෝපයට පත් ඇතීනා දඬුවම් කළේ වැරදිකාර පොසයිඩන් දෙවියාට නොවේ, මෙඩූසාට යි. මෙඩූසාව සර්පයින්ගෙන් සෑදුණු හිසකෙස් සහිත යක්ෂණියක් බවට පත්කළ අතර, ඇගේ දෑස දෙස බැලූ පමණින් කෙනෙකු තමන් සිටින ස්ථානයේම ගල් වෙන ලෙස ඇයට ශාප කර තිබේ. 

එතැන් පටන්, ග්‍රීක ප්‍රවාදයන්හි වීරවරයෙකු ලෙස හැඳින්වෙන පර්සියස් විසින් මරාදැමෙන තුරුම මෙඩූසා මෙම ශාපයත් සමග ජීවත් වී තිබේ.

පර්සියස්

පර්සියස් යනු ආගස්හි රජු වූ ඇක්‍රීසියස්ගේ දියණිය ඩේනේට, සියුස් දෙවිඳු දාව උපන් දරුවා යි. ඇක්‍රීසියස් රජුගේ දියණියට දරුවෙකු ලැබුණහොත් ඔහු ඇක්‍රීසියස් මරා රජකම පැහැරගන්නා බවට පූජකවරුන් අනතුරු අඟවා තිබූ බැවින්, ඇක්‍රීසියස් රජු තම දියණිය වන ඩේනේව ලෝකඩ කුටියක රඳවා තැබුවේ කිසිවෙකුත් සමග සබඳතාවක් පවත්වාගත නොහැකි වන අයුරිනුයි. නමුත් දිනක් ඇක්‍රීසියස් රජු ඩේනේගේ සිරකුටියට යන විට දුටුවේ ඇගේ දෑතේ අළුත උපන් ළදරුවෙකු සිටින අයුරු යි. සියුස් විසින් ස්වර්ණමය වර්ෂාවක් ඇතිකර, එමඟින් ඩේනේව ගැබ් ගන්වා තිබුණා. 

සියුස් හට තිබූ බිය නිසා ඇක්‍රීසියස් රජු ඩේනේව සහ දරුවාව නොමරා, ඒ වෙනුවට ඔවුන්ව ලී පෙට්ටියක බහා මුහුදේ පාකර යැවීමට කටයුතු කළා. සෙරිෆස් නම් දූපතේ විසූ ඩික්ටයිස් නම් මසුන් මරන්නෙකු විසින් මේ දෙදෙනා බේරාගනු ලැබූ අතර ඔහු පර්සියස්ව සිය පුතෙකු ලෙස සළකා ඇති දැඩි කළා.

මෙඩූසා මරා දැමීමේ අභියෝගය 

ඩේනේව සහ දරුවාව බේරාගත් ඩික්ටයිස් නම් මසුන් මරන්නා, සෙරිෆස්හි රජු වූ පොලිඩෙක්ටස්ගේ සොහොයුරා යි. ඩික්ටයිස් බේරාගත් ඩේනේ කුමරියව දුටු පොලිඩෙක්ටස්, ඇයව තමා සතු කර ගැනීමට උත්සාහ කළා. නමුත් පර්සියස්, පොලිඩෙක්ටස් දුශ්ඨයෙකු බව සිතූ අතර තම මව ඔහු සමග සබඳතාවයක් ඇතිකරගැනීම කෙරෙහි දැඩි ලෙස විරුද්ධ වුණා. එබැවින් පොලිඩෙක්ටස් පර්සියස්ව මරා දැමීමට උපක්‍රමයක් කල්පනා කළා. ඒ අනුව ඔහු පර්සියස්ට අණ කළේ, ගොස් මෙඩූසාව මරා ඇයගේ හිස ගෙන එන ලෙස යි.

පර්සියස් යනු සියුස්ගේ දරුවෙකු වූ බැවින් මෙම වික්‍රමය සඳහා යාමට ඔහුට දෙවිවරුන්ගෙන් ත්‍යාග ලැබුණා. හේඩීස්ගෙන් අදෘශ්‍යමාන වීමේ බලය සහිත හිස්වැස්මක්, හර්මීස්ගෙන් පියාපත් සහිත සපත්තු යුගලක්, හිෆීස්ටස්ගෙන් කඩුවක්, සහ ඇතීනාගෙන් පරාවර්තන ගුණය සහිත ලෝකඩ පළිහක් ඔහුට ලැබුණු අතර පර්සියස් මේවා ආධාර කරගෙන මෙඩූසා සොයා ගියා. ඔහු මෙඩූසා නිදා සිටින මොහොතක ඇතීනා ත්‍යාග දුන් පලිහේ ආධාරයෙන්, මෙඩූසාගේ දුටුවන් සෙල් රූ බවට හරවන නෙත් බැල්ම වළක්වමින් ඇයගේ හිස සිඳ දැමීමට සමත් වුණා.

මෙඩූසාගේ දරුවන්

පර්සියස් විසින් මෙඩූසාව ඝාතනය කරන විට මෙඩූසා පොසයිඩන් හේතුවෙන් ගැබ් ගෙන සිටි අතර, ඇගේ ගෙල සිඳ දැමූ වහාම එම ස්ථානයෙන් ඇගේ දරුවන් වන පෙගසස් නම් පියාපත් සහිත අශ්වයෙකු සහ ක්‍රිසායර් නම් ස්වර්ණමය යෝධයෙකු උපන් බව සඳහන්. මෙඩූසාව මරා දමා සුළු මොහොතක් යත්ම මෙඩූසාගේ සොහොයුරියන් එම ස්ථානයට පැමිණි බැවින්, පර්සියස් මෙඩූසාගේ හිස මල්ලක බහාගෙන තම අදෘෂය්‍යමාන වීමේ බලය සහිත හිස් වැස්ම ද පළඳාගෙන වහා පලා ගියා. ඇතැම් ප්‍රවාදයන්හි සඳහන් වන්නේ ඔහු පෙගසස්ව ද රැගෙන ගිය බව යි. 

මෙඩූසාගේ හිසේ රැඳි බලය

පර්සියස් මෙඩූසාගේ හිසත් රැගෙන ලිබියාවට ඉහළින් ගමන් කරන විට හිසෙන් ලේ බිඳු වැටුණු අතර, එම ලේ බිඳු විශකුරු සර්පයින් බවට හැරුණි. අදටත් ලිබියාව සහ ඒ අවට සිටින සර්පයින් පැවත එන්නේ මේ සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස බව යි විශ්වාසය. 

මේ ආපසු යන ගමනේ අතරමඟ දී හමුවූ ඇට්ලස් ගෙන් පර්සියස් රාත්‍රී නවාතැන් ඉල්ලූ නමුත්, ඇට්ලස් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එනිසා පර්සියස් මෙඩූසාගේ හිස මල්ලෙන් ඉවතට ගෙන ඇට්ලස්ට පෙන්වා ඔහුව කන්දක් බවට හැරවූ අතර, තවත් බොහෝ අවස්ථාවන්හි දී සතුරන් පරාජය කිරීමට පර්සියස් විසින් මෙඩූසාගේ හිසේ බලය ප්‍රයෝජනයට ගත් බව ග්‍රීක ප්‍රවාදයන්හි සඳහන්.

මූලාශ්‍රයයන්:https://www.ancient-origins.net 

https://www.greekmythology.com https://www.thoughtco.com

roar.meadia

Rate This Article

Thanks for reading: සර්ප හිසකෙස් තිබූ සුන්දර යක්ශණිය: මෙඩූසා, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.