සර්වසම නිවුන්නු කල අපරාධ

6 Read time

 


සර්වසම නිවුන්නු කල අපරාධ 

ඔබ ‛සර්වසම නිවුන්නු’ (Identical Twins) ගැන අසා තිබෙනවද? අසා තිබුණත් නැතත් ඒ ගැන කෙටියෙන් සඳහන් කළොත් කියන්න තියෙන්නේ හැම අතින්ම සමාන නිවුන්නු කියන එකයි. ඒ කියන්නේ පෙනුමෙන්, කතා බහෙන්, ඇවිදින විලාශයෙන් ආදී සෑම අතින්ම සමානයි. විද්‍යාත්මකව ගත්තොත් ඔවුන්ගේ ඩී.එන්.ඒ. පවා සමානයි. වෙනස් වෙන්නේ ඇඟිලි සලකුණු පමණයි. ‛ඩූම් 3’ හින්දි චිත්‍රපටය නැරඹුවා නම් එහි කියැවෙන්නෙත් සර්වසම නිවුන්නන්ගේ කතාවක් බව ඔබට මතක් වේවි. ඒ වගේම මේ වසරේ තිරගත වුණු ‛තඩම්’ කියන දෙමළ චිත්‍රපටයේත් මේ වගේම කතාවක් නිරූපණය වෙනවා. සිය සර්වසම භාවය ප්‍රයෝජනයට ගෙන අපරාධකරුවන් බවට පත් වූ නිවුන්නු ගැනත් කතා අපට ලෝකය වටෙන්ම අහන්න ලැබෙනවා. මොවුන්ගේ ඩී.එන්.ඒ, සමාන නිසා බොහෝ දෙනෙක් සිදුකොට තිබෙන්නේ යම් අපරාධයක් පිළිබඳ වගකීම සිය අනෙක් නිවුන්නාට බැර කිරීමයි. එසේත් නැත්නම් කිසිම දෙයක් ගැන නොකියා සිටීමයි. ඩී. එන්. ඒ. පරීක්ෂාවක් හැර වෙන කිසිදු සාක්ෂියක් ඉතිරිව නැත්නම්, නීතිය පසිඳලන බලධාරීන්ට මොවුන්ව නිදහස් කරනවා හැර වෙන විකල්පයක් ඉතිරි වන්නේ නැහැ. එයට හේතුව අපරාධකරුවන් සියයක් සිරේට ගියත් එක් නිවැරදිකාරයෙක් සිරගතවීම අමානුෂික දෙයක් බව ලොව පුරා පිළිගැනීමට ලක්ව තිබීමයි. මේ තත්වයේ වාසිය ප්‍රයෝජනයට ගත් සර්වසම නිවුන් අපරාධකරුවන් කිහිප දෙනෙක් ගැනයි මේ කියන්න හදන්නේ.

හසාන් සහ අබ්බාස්


2009 වස්රේ පෙබරවාරි 25 වැනිදා දවස ඇරඹෙත්ම වාගේ ජර්මනියේ සුඛෝපභෝගී භාණ්ඩ අළෙවි කෙරෙන වෙළෙඳ සලක් වූ ‛ඛවුපෝස් ඩෙ වෙස්ටෙන්ස්’ මංකොල්ලකෑමකට ලක් වුණා. එහිදී මෙහි තිබුණු ස්ටර්ලිං පවුම් මිලියන පහක් (රුපියල්වලින් නම් ආසන්න වශයෙන් මිලියන 1133ක් පමණ) සුඛෝපභෝගී ඔරලෝසු සහ වෙනත් ආභරණ සොරාගෙන ගොස් තිබුණා. සීසීටීවී දර්ශනවලට එක් පුද්ගලයෙකුව හසුව තිබුණා. සොරුන්ගේ එක් අත්වැස්මක් ද මෙහි දමා ගොස් තිබී හමුවුණා. අත්වැස්මේ ඇඟිලි සලකුණු සටහන්ව නොතිබුණු නිසා පොලිසිය කළේ එයින් ඩී.එන්.ඒ. සාම්පලයක් ලබාගැනීමයි. මේ ඩී.එන්.ඒ. අයත් කාටදැයි සොයා බැලීමේදී පොලිසියට තරු පෙනුණේ ඒවා පුද්ගලයන් දෙදෙනෙකුටම අයත් බව දැනගන්නට ලැබුණු නිසයි. ඒ හසාන් සහ අබ්බාස් යන සර්වසම නිවුන්නන් දෙදෛනාටයි. කෙසේ නමුත් මේ මංකොල්ලයට මේ දෙදෙනාම හවුල් ද, එසේත් නැත්නම් කුමන සහෝදරයා මෙය සිදු කළේද යන්න සොයා ගැනීමට පොලිසීයට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු කුමන පීඩනයක් යටතේවත් මේ ගැන වචනයක් හෝ කතා කළේ නැහැ. අනෙක සීසීටීවී කැමරා දර්ශනයට හසු වූ පුද්ගලයා වෙස් මුහුණක් පැළැඳ සිටි නිසා එයින් ද එතරම් ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. ඔරලෝසු සහ ආභරණ සොයා ගන්නට හැකියාවක් නොලැබුණත් මේ සහෝදරයන් දෙදෙනාව නිදහස් කරන්නට පොලිසියට සිදුවුණා.


ඇල්බට් එබෙන්සර් ෆොක්ස් සහ එබෙන්සර් ඇල්බට් ෆොක්ස් 


1857 වසරේ උපන් ඉංග්‍රීසි ජාතික මේ ෆොක්ස් සහෝදරයන් පෙනුමෙන් කොයි තරම් සමාන ද කීවොත් ඔවුන් වෙන් කොට හඳුනාගැනීම සඳහා ඔවුන්ගේ ඇඳුම්වල වර්ණ රිබන් පටි ගැට ගැසීමට පවා ඔවුන්ගේ දෙමාපියන්ට සිදු වුණා. මොවුන් පසු කාලයේ මහා අපරාධකරුවන් බවට පත් වූ නිසා ඒ අපරාධවලින් ගැලවී යන්නට මේ පෙනුමත්, එක හා සමාන නම් දෙකක් වාසියකට හිටියා. මේ සහෝදරයන් දෙදෙනා කිසිදු අපරාධයක් කරන්නට එක්ව ගමන් කළේ නැහැ. මේ නිසා තමන් නිර්දෝෂය කියා නීතිය හමුවේ පවසන්නට එය වාසියක් කරගන්නට හැකියාවක් ලැබුණා. මේ ආකාරයට අපරාධ කරමින් පොලිසිය ගොනාට අන්දවමින් සිටි ෆොක්ස් සහෝදරයන්ව අල්ලා ගන්නට පොලිසිය ද හැකිතාක් උත්සාහ ගත්තා. පොලිසිය මොවුන්ගේ ඇඟිලි සලකුණු සොයා ගන්නටත්, ඔවුන්ගේ සිරුරේ වූ ලප කැලැල් මොනවාද කියා වෙන් කොට හඳුනාගන්නටත් උපක්‍රම යෙදුවා. මොවුන් හැකිතාක් මේ සාක්ෂි වසන් කරමින් අපරාධ සිදු කළත් අවසානයේ ඔවුන් එයින් පරාජයට පත් වුණා. 1904 වසරේ දී ඔවුන්ගේ ඇඟිලි සලකුණු අල්ලා ගන්නට පොලිසියට හැකි වුණා. ඒ 1904 වසරේ දී. ඇඟිලි සලකුණු මගින් අපරාධකරුවන් අල්ලා ගැනීමේ ලොව පළමු සිදුවීම වාර්තාගත වන්නේ ද මොවුන්ගේ නම සමගයි. මොවුන් නීතිය හමුවේ පරාජයට පත්වීමෙන් පසුව එකම පොලිස් ස්ථානයක සිරකුටිවල රඳවා තබන්නට පොලිසිය ක්‍රියා කළා. එයට හේතුව මේ පොලිස් ස්ථානය ගොඩ නගා ඇත්තේ මේ සහෝදරයන් විසින්ම වීම නිසයි. ඔවුන්ගේ නීති විරෝධී වැඩකටයුතු අතරේ නීත්‍යානුකුළ එකම රැකියාව වී තිබුණේ ගොඩනැගිලි ඉදිකිරීම පමණයි. ඔවුන් සිය ජීවිත කාලය තුළ අපරාධ 200 කට වඩා සිදුකොට ඇති බව පැවසෙනවා.


සතිෂ් සහ සබාරිෂ් රාජ්


සතිෂ් සහ සබාරිෂ් රාජ් කියන්නෙත් සර්වසම නිවුන් සහෝදරයන් දෙදෙනෙක්. 2003 වසරේ දී මැලේසියානු පොලිසිය මගින් ඔවුන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක්ව මැලේසියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ කිලෝ ග්‍රෑම් 160ක කංසා සහ කිලෝග්‍රෑම් දෙකක අබිං ළඟ තබා ගැනීමේ වරදට. ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ ස්ථානයට ඔහුගේ අනෙක් නිවුන් සහෝදරයා ද පසුව පැමිණි අතර ඔහුව ද අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ නමුත් මොවුන්ගේ සර්වසම ස්වභාවය නිසා ටික දිනක් ගත වෙද්දී මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටීමේ වරදට අත්අඩංගුවට පත් වුණේ කුමන නිවුන් සොයුරා ද කියා හඳුනා ගැනීමට පොලීසියට නිවැරදිවම පවසන්නට හැකියාවක් නැති වුණා. ඔවුන්ගේ ඩී.එන්.ඒ පරීක්ෂාවක් කළත්, ඒවා ද සමාන නිසා පොලිසිය මුහුණ දුන්නේ පුදුම අපහසු තත්වයකටයි. අනෙක ඔවුන් කිසිව දෙයක් කතා කළේ ද නැහැ. ඔවුන්ව උසාවියට ඉදිරිපත් කරනු ලැබුවත්, එහි නිගමනය වුණේ වරදකරු නිවැරදිවම තීරණය කළ නොහැකි නිසා දෙදෙනාවම නිදහස් කළ යුතු බවයි. යම් හෙයකින් වරදකරු නිශ්චිතවම සොයා ගැනීමට හැකි වුණා නම් ඔහුට නිසැකවම මරණ දඬුවම ලැබෙන්නට නියමිතව තිබුණා.


ඕර්ලැන්ඩෝ සහ බ්‍රැන්ඩන් නෙම්බාර්ඩ්


2011 පෙබරවාරි 12 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක ගැටුමක් හට ගත්තා. මේ ගැටුම අවසන් වුණේ 19 හැවිරිදි සර් ෂේවියර් බෲක්ස් වෙඩි වැදී මිය යාමෙන්. එයින් මාසයකට මේ මිනීමැරුමේ සැකකරු විදිහට ඕර්ලැන්ඩෝ නෙම්බාර්ඩ්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ පිළිබඳ පරීක්ෂණය හිතුවාට වඩා සංකීර්ණ වෙමින් පවතින බව පොලිසිය තේරුම් ගත්තේ ඕරලැන්ඩෝට සර්වසම නිවුන් සහෝදරයෙක් ද සිටින බව සොයා ගැනීමත් සමගයි. මේ මිනීමැරුම ඔප්පු කරන්නට ඩී.එන්.ඒ. වලින් කිසිදු සහයෝගයක් නොලැබෙන බව පොලීසිය දැන සිටියා. ඊට අමතරව මෙය ඔප්පු කරන්නට ඔවුන් ළඟ වෙනත් සාක්ෂි තිබුණෙත් නැහැ. මිනීමැරීමට යොදා ගත් ආයුධය ද සොයා ගන්නට නොහැකි වූ නිසා ඇඟිලි සලකුණු ලබාගන්නට ක්‍රමයක් තිබුණෙත් නැහැ. ඔවුන්ට ඉතිරි වී තිබුණු එකම දේ ඇසින් දුටු සාක්ෂි පමණයි. නමුත් එය ද විශ්වාසදායක නොවුණේ ඇසින් දුටු සාක්ෂිකරුවන්ට මේ සොයුරන් දෙදෙනා වෙන් කොට හඳුනා ගැනීම දුෂ්කර වූ නිසයි. මිනීමැරුම සිදුකළේ ඕර්ලැන්ඩෝ යැයි ඇතැමුන් කී අතර තව පිරිසක් පැවසූවේ එය බ්‍රුන්ඩන් විසින් සිදු කළ බවයි. අධිකරණයටත් මේ ගැටලුව විසඳා ගත නොහැකි වුණා. බ්‍රැන්ඩන්ට අපරාධ සම්බන්ධ කිසිදු ඉතිහාසයක් නොතිබුණු අතර ඕර්ලැන්ඩෝ නම් මංකොල්ලකෑම් සහ මරිජුනාවා ළඟ තබාගැනීම සම්බන්ධව චෝදනා එල්ල වී තිබුණා. අවසානයේ දෙදෙනාවම නිදහස් කර හරින්නට සිදු වුණා.


රොනාල්ඩ් සහ ඩොනල්ඩ් ස්මිත්


2008 ජූලි 18 වැනිදා ජෙනායි කෝල්මන් නම් තැනැත්තාට දුම්රිය ස්ථානයක් අසළදී වෙඩි තබා මෝටර් රථය පැහැරගෙන තිබුණා. පසුව වෙනත් තැනක අතහැර ගොස් තිබුණු මේ වාහනය පොලිසිය විසින් සොයා ගත්තා. මෝටර් රථයේ තිබුණු දුම්වැටි කොටසක් මෙහිදී පොලිසියට සොයා ගන්නට හැකි වුණා. මෙයින් ලබා ගත් ඩී.එන්.ඒ. වලින් හෙළි වූයේ එය ඩොනල්ඩ් ස්මිත් නම් පුද්ගලයකු විසින් පානය කරන ලද දුම්වැටියක් බවයි. ඔහු මෙයට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ සිරගත ව සිටි පුද්ගලයෙක්. කෙසේ නමුත් ඩොනල්ඩ්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු මේ අපරාධ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ එය සිය සොයුරා වන රොනාල්ඩ් විසින් සිදුකරන ලද්දක් බවයි. මෙය සිදුකළේ රොනාල්ඩ් බව සනාථ කිරීම සඳහා එම අපරාධයේ සීසීටීවී දර්ශන සිය ඥාතීන්ට පෙන්වන මෙන් ද ඔහු ඉල්ලා සිටියා. පොලිසිය එම ඉල්ලීම ඉටුකරමින් එකී දර්ශන ඥාතීන්ට පෙන්වූ අතර ඔවුන් පවසා සිටියේ ද එහි සිටින්නේ රොනාල්ඩ් බවයි. දින කිහිපයකට පසුව රොනාල්ඩ්ව අත්අඩංගුවට ගනු ලැබුවා. වාහනයෙන් ලබා ගත් ඇඟිලි සළකුණු ද රොනල්ඩ් හා කදිමට ගැලපුණා. අනෙක මේ වාහනය අතැර දමා ගොස් තිබු ප්‍රදේශයේ රොනාල්ඩ් ගැවසෙමින් සිටි බවට ඇසින් දුටු සාක්ෂි ද ඉදිරිපත් කළ හැකි වුණා. ඔහු එම පළාතේ සිට දුරකතන ඇමතුම් කිහිපයක් ද ලබාගෙන තිබුණා.


කෙසේ නමුත් රොනාල්ඩ් පවසා සිටියේ තමා එම අපරාධය සිදු නොකළ අතර එය සොයුරා වූ ඩොනල්ඩ් විසින් සිදුකරන ලද්දක් බවයි. රොනල්ඩ්ගේ නීතිඥයා පවසා සිටියේ මෝටර් රථයේ රොනල්ඩ්ගේ ඇඟිලි සලකුණු තිබෙන්නට හේතුව එය පිරිසිදු කරන්නට රොනාල්ඩ් උදව් කළ නිසා බවයි. කෙසේ නමුත් මේ කාරණය ජූරිය විසින් පිළිනොගත් අතර රොනාල්ඩ් ද වසර 25 ක සිරදඬුවමක් හිමි වුණා.

Rate This Article

Thanks for reading: සර්වසම නිවුන්නු කල අපරාධ, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.