මිනිස් පොකිරිස්සාගේ භයානක කතාව

 


මිනිස් පොකිරිස්සාගේ භයානක කතාව


ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ ස්ටයිල්ස් පවුලට ආවේණික ජානමය විකෘතිතාවක් තිබුණා. ඒ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් බොහෝ දෙනා අත් ඇඟිලිවල විකෘතිතා සහිතව මෙලොව ජනිත වීම යි. මේ පවුලෙහි කිහිප දෙනෙකුගේම අත්වල නිසි ලෙස අත්ල පිහිටා නොතිබුණු අතර මාපටැඟිල්ල හා සුළැඟිල්ල පමණක් පිහිටා තිබුණා. මේ නිසා මොවුන්ගේ දෑත් පොකිරිස්සන්ගේ අඬු මෙන් දිස් වූ අතර, ඔවුනට ‘මිනිස් පොකිරිස්සන්ගේ පවුල’ යන අන්වර්ථ නාමය පටබැඳුණා.


සිය පවුලට උරුම වූ උක්ත තත්ත්වය ආබාධයක් ලෙස සිතන්නට ස්ටයිල් පවුලේ සාමාජිකයින් කැමති වූයේ නැහැ. මේ නිසා ඔවුන් එය වාසියක් කරගනිමින් 19 වන සියවසේ අග භාගයේ පමණ ‘සර්කස් කණ්ඩායමක්’ සකසා ගන්නවා. මෙය ඉතා ඉක්මණින් ජනප්‍රිය වූ අතර 20 වන සියවස ආරම්භ වන විට ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රසිද්ධියට පත් වෙනවා. මේ පවුලේ සාමාජිකයෙකු වූ ග්‍රේඩි ස්ටයිල්ස් (කණිෂ්ඨ) උප්පත්තිය ලබන්නේ මෙවැනි වකවානුවක යි. කෙසේ නමුත් ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ අන් අයට හාත්පසින්ම වෙනත් ආකාරයකට යි.


ග්‍රේඩි ස්ටයිල්ස් ගේ කුඩා කාලය


ස්ටයිල්ස් පවුලේ සාමාජිකයෙකු ලෙස ග්‍රේඩි ස්ටයිල්ස් උපත ලැබුවේ 1937 වසරේ පිට්ස්බර්ග්හි දී යි. මේ වන විට ඔහුගේ පියා සිය පවුලේ සර්කස් කණ්ඩායමේ වැදගත් ස්ථානයක් හෙබවූ අතර හොඳින් හරිහම්බ කරමින් සිටියා.


ග්‍රේඩි ස්ටයිල්ස්ට සිය පවුලේ රෝගාබාධය අන් අයටත් වඩා දරුණු ලෙස බලපා තිබුණා. විශේෂයෙන්ම අත්වල පමණක් නොව විකෘතිතාවය ඔහුගේ පාදවලටත් බලපා තිබුණා. මේ නිසා ඔහුගේ අත් පා සියල්ලම පොකිරිස්සෙකුගේ අඬු මෙන් පෙනී ගිය අතර ඔහුට ඇවිදීමේ හැකියාවක් තිබුණේ නැහැ.


උක්ත රෝගී භාවය නිසා ග්‍රේඩිට ඔබ මොබ යන්නට රෝද පුටුවක පිහිට පතන්නට වුණා. කෙසේ නමුත් පසුකාලීනව සිය දෑත් ද උපයෝගී කොටගෙන බිම දිගේ බඩගා මෙන් යන්නට ඔහු හුරු පුරුදු වුණා. එමෙන්ම නව යොවුන් වියට එළැඹෙද්දී ඔහු අන් අයට වඩා බොහෝ ශක්තිමත් අයෙක් බවට පත් වුණා.


ග්‍රේඩි නව යොවුන් වියට එළැඹෙන විට සර්කස් කණ්ඩායම නිසා ඔහු ආර්ථික වශයෙන් සවිමත් වුණා. එමෙන්ම රට පුරා යන්නට ද හැකි වුණා. මේ ආකාරයට ඔහුගේ පවුල කෙටිකාලීනව ෆ්ලොරීඩාවේ ගිබ්සන්ටන් ප්‍රදේශයට පැමිණියා. මෙහිදී හමුවන මරියා තෙරේසා නම් තවත් සර්කස් කණ්ඩායමක කටයුතු කළ තරුණියක් සමග හාද වූ ඔහු ඇය හා විවාහ වුණා. යුවලට දරුවන් දෙදෙනෙකු ලැබුණු අතර ඉක්මණින්ම ග්‍රේඩි ඔවුන් ද සර්කස් කණ්ඩායම වෙත හඳුන්වා දෙනවා.


ග්‍රේඩිගේ ජීවිතයේ අඳුරු සමය


ග්‍රේඩිගේ දරුවන් වැඩිවිය පැමිණීමත් සමග ඔහුගේ ජීවිතයේ අඳුරු කාලය ආරම්භ වුණා. මේ කාලය තුළ දී ඔහු මත්පැනට ඇබ්බැහි වන අතර නිතර නිතර බිරිය හා දරුවන් සමග රණ්ඩු සරුවල් ඇතිකරගත්තා. වැඩිමල් දියණිය වන කැතී නිතරම පාගේ ඔහුගෙන් අඩත්තේට්ටම් වින්දා. විශේෂයෙන් ඔහු කිහිප විටක්ම සිය බිරිඳගේ ගෙල සිරකරන්නට උත්සාහ කළා. ඔහුගේ දෑත එවැනි කර්තව්‍යයක් සඳහා හොඳින්ම හැඩගැසී තිබීමත්, ඔහුට ඇති සුවිශේෂී කාය ශක්තියත් නිසා මේ අවස්ථාවල දී ඇය ඔහුගෙන් බේරී ගියේ ඉතා අපහසුවෙනුයි.


ග්‍රේඩිගේ කණිටු දියණිය වන ඩොනා හිරිමල් යෞවන වියේ දීම තරුණයෙකු හා පෙමින් වෙළුණා. මෙයට ග්‍රේඩිගේ කැමැත්ත හිමිවූයේ නැහැ. කෙසේ නමුත් ඔහුගේ විරෝධය ගණනකට නොගත් යුවල සිය විවාහය සඳහා සූදානම් වුණා. මෙය ආරංචි වූ ග්‍රේඩි සිය කැමැත්ත දෙන මුවාවෙන් ඩොනාගේ පෙම්වතා හමුවීමට යන අතර, එහිදී කුරිරු ලෙස ඔහු ඝාතනය කරනවා. මේ සඳහා ඔහු සිය අතෙහි පිහිටීම හා කාය ශක්තිය යොදාගත්තා.


නඩු විභාගය හා ඉන් පසු ජීවිතය


ඩොනා ගේ පෙම්වතා ඝාතනය කිරීම පිළිබඳව ග්‍රේඩි ඉක්මණින්ම පොලිසියට කොටු වුණා. ඔහුට එරෙහිව නඩු විභාගය ඉක්මණින්ම ඇරඹුණු අතර, එහිදී තමන්ට ඒ පිළිබඳව කිසිදු පසුතැවීමක් නැතැයි පැවසුවා. කෙසේ නමුත් තමන්ගේ ආබාධ තත්ත්වය නිසා යම් හෙයකින් තමන් සිරගත වුවහොත් එය ඉතා අමානුෂික අත්දැකීමක් වේයැ යි ඔහු හුවා දැක්වූවා. මේ වන වන විට ඔහු මත්පැන් නිසා සිරෝසිස් තත්වයකට ද ගොදුරු වී සිටි අතර අධික දුම් පානය නිසා ඇති වූ ශ්වසන ආබාධයකින් ද පෙළුණා. මේ සියල්ල සලකා බැලූ අධිකරණය ග්‍රේඩි ස්ටයිල්ස්ට වසර 15ක අත්සිටවූ සිරදඬුවම් ලබා දී නිවසට පිටත් කර හැරියා.


මේ කාලය වන විට ඔහු සිය පළමු බිරියගෙන් දික්කසාදව සිටි අතර දෙවන විවාහයක් ද කරගත්තා. එහිදී ද ඔහු තවත දරුවන් දෙදෙනෙකුට පියා වූ අතර, ඉක්මණින්ම එම විවාහය ද දෙදරා ගියේ ඔහුගේ බීමත් කම නිසාම යි. කෙසේ නමුත් 1989 වසරේ දී සියල්ලන්ම පුදුමයට පත් කරමින් මරියා තෙරේසා නැවත වාරයක් ඔහු විවාහ කරගැනීමට එකඟ වෙනවා.


මිනිස් පොකිරිස්සාගේ අවසානය


සිය පළමු බිරිය නැවත විවාහ කරගත්ත ද වැඩි කල් යන්නට මත්තෙන් නැවතත් ග්‍රේඩිගේ දරුණු ගති මතුවන්නට පටන්ගත්තා. ඔහු නැවතත් මරියාට අඩත්තේට්ටම් කිරීම ආරම්භ කළා. කෙසේ නමුත් මෙවර මාරියා ඔහුගේ අඩත්තේට්ටම් ඉවසා දරාගන්නට සූදානම් වූයේ නැහැ.


මාරියාගේ අසල්වැසි ගැටවරයෙකු වන ක්‍රිස් ව්‍යාන්ට් හා තමන්ගේ වෙනත් විවාහයක දරුවෙකු වන ග්ලෙන් සමග ග්‍රේඩි ඝාතනය කරන්නට ඇය සැලසුම් කළේ සිය රතු ඉර ඉක්මවා ගිය තැන යි. මේ අනුව එක් දිනක රාත්‍රියේ .32 කොල්ට් වර්ගයේ ස්වංක්‍රීය ගිණි අවියක් අත දරාගත් ක්‍රිස් හරියටම එල්ලය ගෙන ග්‍රේඩිට වෙඩි තබනවා. මින් ග්‍රේඩි එතැනම මියයනවා.


අවසානය


ග්‍රේඩි ස්ටයිල්ස් ඝාතන නඩු විභාගයෙන් පසු ක්‍රිස්ට වසර 27ක සිරඳඬුවම් ද මාරියාට වසර 12ක සිර දඬුවම් ද  නියම වුණා. ඇය දිගින් දිගටම කියා සිටියේ තමන් ග්‍රේඩි ඝාතනය කළේ ඔහු සිය පවුල ඝාතනය කරන්නට මාන බැලූ නිසා බව යි. ග්‍රේඩි ගේ හා මරියාගේ වැඩිමල් දියණිය වන කැතී ද මරියාගේ ප්‍රකාශයට උර දෙන ආකාරයට සාක්ෂ්‍ය දීම ද සුවිශේෂී කාරණාවක් වුණා.


මේ වන විට සමාජය ද ග්‍රේඩි පිළිබඳ හොඳින් දැන සිටි අතර ඔවුන්ගෙන් ඔහු කෙරෙහි එල්ල වී තිබුණේ අප්‍රසාදයක්. කොටින්ම ඔහුගේ දෙන ඔසවාගෙන යාමට කිහිප දෙනෙක් සොයාගැනීමත් අපහසු වුණා.


මූලාශ්‍රයයන්:

Allthatsinteresting.com

Historicmysteries.com

Huffpost.com

Mysteriousuniverse.org

roar.meadia

Rate This Article

Thanks for reading: මිනිස් පොකිරිස්සාගේ භයානක කතාව, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.