කැන්ගරු දේශයේ දිය කිඳුරියෝ
අනාදිමත් කාලයක සිට මිනිස් සිත් සතන් හා බැඳුනු දිය කිඳුරියන් තරම් මිත්‍යා විශ්වාසයන්ට, ජනප්‍රවාදයන්ට, සාහිත්‍යය හා කලා ශිල්පයන්ට මෙන්ම සාමාන්‍යය ජනතාවගේ කතා බහට කේන්ද්‍රවූ තවත් සුන්දර සංකල්පයක් නැති තරම්ය. පාලු වෙරළ තීරයන්හිදී හමුවූ දිය කිඳුරියන් ගැනත්, ගොඩබිමට පාව ආ දිය කිඳුරු සිරුරු ගැනත් කලින් කල ලෝකයේ නන් දෙසින් අසන්නට ලැබෙන තොරතුරු ඔවුන් පිලිබඳ අපේ මතකය වරින් වර අලුත් කරවයි.
බොහෝවිට දිය කිඳුරියන් විස්තර කෙරෙන්නේ මුහුදේදී හමුවන සුන්දර කාන්තාවන් ලෙසය. ඔවුන්ගේ උඩුකය යොවුන් තරුණියකගේ හැඩරුව ගන්නා අතර ඉඟෙන් පහල කොටස මසෙකුගේ වලගය මෙන් සිහින්වී ගොස් දෙබෙදුමක් සහිත වරළකින් කෙලවරවේ. මිහිරි හඬින් ගී ගයන ඔවුහු මුහුදේ ඇදෙන නාවිකයන් වසඟයට ගෙන ඔවුන් විපතට හෙලන බව ඇතැමෙකුගේ විශ්වාසයයි. මෙනිසා මුහුදු ගමනකදී දියකිඳුරියක හමුවීම අසුබ පෙරනිමිත්තක් ලෙස නාවිකයෝ සළකති. තවත් ඇතැමෙකු ඔවුන් සලකන්නේ මුහුදේදී හමුවන සුන්දර දෙවඟනන් ලෙසය. ඕස්ට්‍රේලියාවේ ආදි වාසීන් දිය කිඳුරියන් හඳුන්වන්නේ Yawk Yawk යන නමිනි. දෙවත්වයෙන් සළකනු ලබන ඔවුහු මැවුම් කරුවාණන්ගේ දියණියෝය. ඔවුන් කෝප වුවහොත් ගංවතුර, සුලි සුළං වැනි විපත් ඇතිවේ.
දිය කිඳුරියන් ගැන නොයෙකුත් මතිමතාන්තර ඇතත් ඔවුන් සෑම රටකම පාහේ මිනිසුන්ගේ ඉමහත් ආදරයට හා අවධානයට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ. චිත්‍ර, කැටයම්, පිළිරූ මෙන්ම මුද්දර, කාසි හා නිල ලාංචන වලද දියකිඳුරු රූ සටහන් වන්නේ ඒ නිසාය .
එංගලන්තය. ජර්මනිය, ප්‍රංශය.ග්‍රීසිය, ඉතාලිය වැනි යුරෝපීය රටවල මෙන්ම. කැනඩාව, එක්සත් ජනපදය; රුසියාව වැනි රටවලද, චීනය, ඉන්දියාව,කාම්බෝජය වැනි ආසියාතික රටවලද දිය කිඳුරියන්ගේ විශාලවූත්, අලංකාරවූත් ප්‍රතිමා ඉදිකොට ඇත.ඇමෙරිකා එක්සත් ජනපදය තුල පමණක් ඉදිකොට ඇති විශාල දියකිඳුරු පිලිරූ ගණන දහනවයක් පමණ වේ.
ඕස්ට්‍රේලියාවේද, ක්වීන්ලන්තයේ නැගෙනහිර වෙරලට ආසන්නයේ පිහිටි ඩේ ඩ්‍රීම් දිවයිනෙහිදීද ඔබට මෙවන් දියකිඳුරියන් දැකිය හැකිය.. දිවයිනේ උතුරු කෙලවරෙහි වෙරලාසන්න ගල්පර මත හිඳින මේ දියකිඳුරියන් වෙරල තීරයයේ දර්ශණීයත්වය තවත් ඔප ගන්වයි. එකිනෙකට වෙනස්වූ ඉරියව් වලින් හිඳින දිය කිඳුරියන් තිදෙනෙකුගේ රූ එහි නෙලා ඇත. අනෙක් හැම රටකම පාහේ දැකිය හැක්කේ තනි ප්රතිමාය.
ලෝකයේ ඇති දියකිඳුරු ප්‍රතිමා අතරින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් වරායේ ඉදිකොට ඇති ප්‍රතිමාව කාගේත් දැඩි අවධානයට ලක්වූවකි. හෑන්ස් ඇන්ඩර්සන් ලේඛකයාගේ කෘතියේ එන මෙම චරිතය ඔහුගේ උපන්බිමවූ, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් වරාය සමීපයේ මුලින් ඉදි කෙරුනද අද මෙම කුඩා දියකිඳුරියගේ සුන්දරත්වය නිසාම එහි අනු රූ, ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාන හයක ඉදිකොට ඇත. මෙ අතර පෝලන්තයේ අග නුවර වූ වර්සෝ හි රාජ්‍ය ලාංචනය වන්නේද දිය කිඳුරියකගේ රූපයයි. එම නගරය දිය කිඳුරියක විසින් ආරක්ෂාකරන්නේයයි විශ්වාසයක් ඇති අතර, ඒ නිසාම ලාංචනයේ හා නගරයේ ඉදිකොට ඇති ප්‍රතිමාවේද සිටින දිය කිඳුරිය කඩුවක් අතින් ගෙන සිටියි
අද මෙන්ම ඉතා ඈත අවදියේ සිටම දියකිඳුරියන් පිළිබඳව මිනිසුන්ගේ අවධානය යොමුව තිබූ බව පෙනෙන්නට ඇත. ක්‍රි.පූ.1000 වැනි ඈත කාලයකදී පවා දියකිඳුරියන් ගැන වර්තාවී ඇත. ක්‍රිස්තු පූර්ව අටසිය ගණන්වල විසූයයි සැළකෙන ප්‍රකට ග්‍රීක කවියෙකුවූ හෝමර් තම ඔඩිසි කාව්‍යයෙහි දිය කිඳුරියන් ගැන සඳහන් කරයි. දේශගවේෂකයෙකුවූ ක්‍රිස්ටෝපර් කොලොම්බස්ද තමන් හයිටි දූපත් අසලදී දියකිඳුරියන් තිදෙනෙකු දුටු බව සඳහන්කර ඇත. එදා රාවණ රජුගේ සොහොයුරියන් දිය කිඳුරියන් බවට පත්ව, හනුමන් විසින් ආදම්ගේ පාලම සෑදීමට ගොඩගසන ගල් ඉවත් කරමින් එය වැලැක්වීමට උත්සාහ කළ බවටද අපේ රටේ ජනප්‍රවාද ඇත.
දියකිඳුරියන් ගැන අසන්නට ලැබෙන මෙම විස්තර සමස්ථයක් ලෙස සැලකූවිට පෙනීයන්නේ මෙම සංකල්පයට තුඩුදී ඇත්තේ නොගැඹුරු මුහුදු වෙරළවල දක්නට ලැබෙන මුහුදු ක්ෂීරපායි සත්ත්වයෙකු වන මුහුදු ඌරා (Dugong dugon ) බවය. අපේ මන්නාරම මුහුදු තීරයේ මෙන්ම නිරක්ෂ ආසන්නයේ නොගැඹුරු මුහුදුවල දක්නට ලැබෙන මුහුදු ඌරා සම්පූර්ණයෙන්ම මුහුදු පැලෑටි මත යැපෙන්නෙකි. අනෙකුත්සමුද්ර ක්ෂීරපායින්වන ඩොල්ෆින් හා තල්මසුන්ට සමාන වුවත් sirenia ගෝත්‍රයට අයත් ඌ වඩාත් සමීප නෑදෑකමක් දක්වන්නේ ගොඩ බිම සිටින අලි ඇතුන්ටය.
මුහුදු ඌරාගේ සිරුර අනාකූල හැඩයක් ගනී. පැහැදිලි හිසකින් යුත් එය දෙබෙදුමක් සහිත වලගයකින් කෙලවරවේ. අපර ගාත්‍ර ක්ෂීණවී ගොස් ඇති අතර පූර්ව ගාත්‍ර අවල්පත් බවට පත්ව ඇත. ගැහැනු සතුන්ගේ වැඩුනු ස්ථන ග්‍රන්ති යුගලක් ඇත. ඔවුන් පිහිනා යන්නේ තිරස්ව විහිදුනු වරල සිරස් ලෙස ඉහල පහල චලනය කිරීමෙනි. ඊට අනුරුප ලෙස මුලු සිරුරම තරංගාකාරව චලනයවන්නේ දිය යට පිහිනායන මිනිස් රුවක් සිහිගන්වමිනි
නොගැඹුරු ජලයේ මුහුදු පැලෑටි සොයමින් සිටින ඔවුහු ඇතැම්විට දියෙන් ඉහලට එසවී දේහය සෘජුව තබාගෙන සිටිති. මුහුදු පැලෑටි හිස දවටාගෙන ජලයෙන් ඉහලට එසවී සිටින ඔවුන් කාන්තාවන් ලෙස දිස්වන අවස්ථා එමටය. තවද නැවත ඔවුන් ජලයේ ගිලී යනවිට පසු වරල ඉහලට එසවෙන්නේ නිතැතිනි. මේ සියලු සිදුවීම් එක්ව ගත් විට පරිසරය සුන්දරත්වයෙන් දකින්නෙකු දියකිඳුරියකගේ රුව සිත්හි මවා ගැනීම අරුමයක් නොවේ.
මුහුදු ඌරා අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට ඕස්ට්‍රේලියාව පසුකර බටහිර අත්ලන්තික් සාගරය තෙක් නොගැඹුරු වෙරල වල දකින්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ කල්පිටිය හා මන්නාරම මුහුදු ඌරන් බහුලව දකින්නට ලැබෙන ප්රදේශවේ.ලෝකයේ මුහුදු ඌරන්ගෙන් හතරෙන් තුනක්ම වාගේ සිටින්නේ ඕස්ට්‍රේලියාව ආශ්‍රිතවය. බටහිර ඕස්ට්‍රේලියාවේ ශාක් බේ හි සිට ක්වීන්ස් ලන්තයේ නැගෙනහිර වෙරළ තීරය දක්වා ඔවුහු පැතිරී සිටිති. දඩයම් කිරීම නිසා ක්‍රමයෙන් වඳවීයන මුහුදු ඌරා සත්ත්ව ආරක්ෂක පනත් යටතේ ලොව පුරා තරයේ සංරක්ෂිත සත්ත්වයෙකි. එහෙත් ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් එම තහනමින් නිදහස්ය. ඒ මුහුදු ඌරන් දඩයම ඔවුන්ගේ ආහාර පුරුදු හා ජීවන රටාව සමග ඉතා සමීපව බැඳී ඇති බැවිනි.
මේඅතර ජීවමාන මිනිස් දියකිඳුරියන් සිටිනවායයි කිවහොත් ඔබ යලිත් විශ්මයට පත්වනු ඇත. දෙදහස් නවයේ සැප්තැම්බර් වන තෙක්ම ලෝකයේ මිනිස් දියකිඳුරියන් තිදෙනෙක් ජීවත්වූහ. ඉන් අදට ජීවතුන් අතර සිටින්නේ දෙදෙනෙකු පමණි. එහෙත් ඔවුන් පිළිබඳ කතාන්දරය ඔබ සිතන තරම් සුන්දර එකක් නම් නොවේ.
Eesf
ඔවුන්ගේ ශරීරයේ උඩු කොටස සාමාන්‍ය දැරියකගේ ලෙසත් අධර කොටස සිහින්ව ගිය මත්ස්‍ය වලගයක් ලෙසත් වැඩෙමින් කිඳුරු රුවක් ලබාදෙන්නේ ආශිර්වාදයක් ලෙස නොව කලල විකසන්යේ මුල්ම අවදියේදී දේහයේ අධර කොටස්වල සිදුවන වර්ධන ඌණතාවයක් නිසාය. ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන මෙම අසාමාන්‍යතාවය හඳුන් වන්නේ ” සයිරෙනොමිලියා” ( Sirenomelia ) හෙවත් “දිය කිඳුරු සහලක්ෂණය” ( Mermaid syndrome) ලෙසයි.
මෙම සහලක්ෂණය ඇති දරුවන්ගේ දෙපා යාවී පවතින අතර අධර ප්‍රදේශයේ අවයව වන වකුගඩු, මුත්‍රාශය, මුත්‍ර ප්‍රනාල, ලිංගේන්ද්‍රිය, ගුද මාර්ගය වැනි කොටස් වර්ධනය නොවී පැවතිය හැක. ඇතැම් අයගේ හෘදය, පෙනහලු වැනි ඉන්ද්‍රියද නොවැඩී තිබීමට පුලුවන. එවන් විටක ඔවුන් උපතට පෙර හෝ උපන් විටම මරණයට පත්වෙති. වාසනාවකට මෙන් මෙවැනි තත්ත්වයන් හමු වන්නේ සාමාන්‍ය දරු උපත් ලක්ෂයකට එකක් පමණි. අපේ රටේද මෙවැනි දරු උපත් සිදුවී ඇත. එහෙත් කිසිවෙකුට දිගුකලක් ජීවත්වීමේ හැකියාව තිබී නැත.
ලෝකයේ දැනටවැඩිම කලක් ජීවත්වීමට වාසනාව ලත් දියකිඳුරිය වන්නේ 1998 මැයි හත් වනදා ඇමෙරිකාවේ උපත ලත් ටිෆනි යෝක් ය. උපතේදී පාද යාවී තිබුනත් ඇයගේ අනෙකුත් ඉන්ද්‍රියන් හොඳින් පැවතුනි. ඒනිසා වයස අවුරුද්දක් යාමට මත්තෙන් ශල්‍යකර්ම මගින් පාද වෙන්කර ඇය සාමාන්‍ය තත්ත්වයට ගෙන එනු ලැබුණි. අද සොලොස් හැවිරිදි තරුණියක වන ඇගේ පාදවල තවමත් දුර්වලතා පවතී.
දැන්ට ජීවත්ව සිටින අනෙක් දියකිඳුරිය වන්නේ, පේරු ප්‍රදේශයේ දිළිඳු පවුලක 2004 අප්‍රේල් මාසයේදී උපත ලත් මිලාග්‍රොස් සෙරොන්ය. උපතේදී ඇගේ පාද මුල සිට අග දක්වාම යාවී තිබුනත් අස්ථි හොඳින් වැඩී තිබුණි. වකුගඩු පැවතියේ ඉතා දුර්වල තත්ත්වයකය, අහාර මාර්ගයත්, මුත්‍ර ප්‍රනාල හා ලිංගික ප්රනාලත් පිටතට විවෘත වූයේ එක විවරයකිනි. කෙසේ හෝ වෛද්‍යවරුන්ගේ ඉමහත් කැපවීම නිසාම, අසීරු ශල්‍යකර්ම ගණනාවකින් පසු අද ඇය සාමාන්‍ය දැරියක ලෙසජීවත්වෙයි.
දස හැවරිදී වියේදී මෙලොව හැරගිය කුඩා දිය කිඳුරිය 1988 දී අමෙරිකාවේ උතලත් ෂයිලො පෙපින් ය. ඇයගේ දෙපා සම්පූර්ණයෙන්ම යාවී තිබුනු අතර අස්ථි හරිහැටි වැඩී නොතිබුණි. එක් වකුගඩුවක් තිබුනු අතර එහිද වැඩී තිබුනේ හතරෙන් එකක් වැනි සුලු ප්රමාණයකි. ගර්භාශයක්, ගුද මාර්ගයක් මුත්‍රාශයක් හෝ යෝනි මාර්ගයක් වැඩී නොතිබිණි. සියුම් ශල්‍යකර්ම මගින් බොහෝදේ නිවැරදි කරගන්නට හැකිවූ නමුත් මිය යන්තෙක්ම ඇයට ජීව්ත්වීමට සිදුවූයේ එකට බැඳුනු පාද ඇතිවය. වයස අවුරුදු දහයේදී පමණ ඇය මිය ගියේ පෙන්හලු ආබාධයකිනි.
කරුණු මෙසේ හෙයින් දිය කිඳුරියන් ගැන කෙතරම් රසවත් තොරතුරු ඔබ අසා තිබුනත්, ඔවුන් පිළිබඳ සුන්දර සිහින මැව්වෙකු වුවත්, කිසිදිනෙක ඔබට සැබෑ දියකිඳුරු දියණියකු ඇස නොගැටේවායි අපේ පැතුමයි.
Rate This Article
Thanks for reading: කැන්ගරු දේශයේ දිය කිඳුරියෝ , Stay tune to get latest Blogging Tips.