![]() |
මරියානා ආගාධය |
ලෝකයේ විවිධ වූ භූ විෂමතාවයන්ට අනුව විවධ කඳු හා අගාධ නිර්මාණය වී ඇත. මේ අනුව ලෝකයේ උසම ස්ථානය ලෙස හැඳින්වෙන්නේ එවරස්ට් කන්දයි. මෙහි උස දළ වශයෙන් මීටර් 8850ක් පමණ වේ. ලෝකයේ ගැඹුරුම තැන ලෙස දක්වා ඇත්තේ මරියානා ආගාධයයි. මෙය සාගරයේ ඇති ගැඹුරුම ස්ථානයද වේ. මෙහි ගැඹුර මීටර් 11034ක් පමණ වේ. ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද මරියානා ආගාධයේ ගිල්වුවද එම කඳු මුදුන මුහුදු මට්ටමට මීටර් 2133 ක් පහළින් පවතී. මේ අනුව මරියානා ආගාධය කෙතරම් ගැඹුරුද යන්න අප සියල්ලන්ටම වැටහේ. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ මරියානා ආගාධය පිළිබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමටයි.
පිහිටීම හා භෞතික ලක්ෂණ
මරියානා ආගාධය පිහිටා ඇත්තේ බටහිර පැසිපික් සාගරය තුළයි. මෙහි දිග සැතපුම් 1580ක් පමණ වන අතර පළල සැතපුම් 43ක් පමණ වේ. මරියානා ආගාධය සඳහා නම ලැබී ඇත්තේ මරියානා දූපත් නම් කිරීමෙන් පසුවයි. මෙම ආගාධය අර්ධ කවාකාර හෝ අඩ සඳක හැඩයක් ගනී. විද්‍යාඥයින්ට අනුව මෙය නිර්මාණය වී ඇත්තේ පෘතුවි පෘෂ්ඨය සාගර තලයෙන් ඉහළට එසවීමෙනි.
සාගර තලයේ ඇති මරියානා ආගාධ කොටසේ උණුසුම් ජල විවර දක්නට ලැබේ. මෙම විවර තුළින් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි ඛනිජ වර්ග නිකුත් කරයි. මරියානා ආගාධයේ උෂ්ණත්වය ඉතා පහළ අගයක පවතී. මෙහි පීඩනය සාමාන්‍ය මුහුදේ පීඩනය මෙන් දහස් ගුණයක් පමණ වේ. මරියානා ආගාධයේ පතුල කහ පැහැයට හුරු පැහැයක් ගනී. ඊට හේතුව දිරාපත් වූ සත්ව කොටස්, ශාක කොටස්, කවච ආදිය නිරන්තරයෙන් එහි තැන්පත් වී තිබීමයි.
![]() |
පිහිටීම |
මරියානා ආගාධයේ ගැඹුර මැනීම
මරියානා ආගාධයේ ගැඹුර මුලින්ම මැනීම සිදු කරන ලද්දේ වර්ෂ 1875 වසරේදීය. ඒ ශබ්ද තරංග උපයෝගී කර ගනිමිනි. ඉන් පසු මෙහි ගැඹුර මනින ලද්දේ 1899 වසරේදීය. මෙයද සිදු කරන ලද්දේ ශබ්ද තරංග උපයෝගී කර ගනිමිනි. 1957 වසරේදී සෝවියට් පර්යේෂණ නැවක් විසින් මෙහි පෙර සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් ගැඹුරට වඩා ගැඹුරක් ඇති බව සොයා ගන්නා ලදි. ඔවුන් වාර්තා කළ ගැඹුර වන්නේ මීටර් 10,990 කි. මීට පසු නවීන තාක්ෂණයත් සමඟ අඛණ්ඩව මෙහි ගැඹුර මැනීම සිදු කරන ලද අතර වර්තමානය වන විට මෙහි ගැඹුර මීටර් 11034ක් බව සොයාගෙන ඇත.
ආගාධය නිර්මාණය වීම
මරියානා ආගාධය නිර්මාණය වී ඇත්තේ විශාල සාගර පෘෂ්ඨ දෙකක් එකිනෙක ඝට්ටනය වීමෙනි. මේවා භූ තැටි ලෙසින්ද හඳුන්වයි. මෙම ගැටීම නිසා එක් පෘෂ්ඨයක් අනෙකෙන් ඈතට තල්ලු වී පහළට ගොස් ඇත. මෙලෙස පහළට ගමන් කල පෘෂ්ඨය පෘතුවියේ බාහිර ස්ථරයෙන් යටට කිඳා බැසීමක් සිදු වී ඇත. මෙලෙස ගැටුණු පෘෂ්ඨ දෙකේ ගිලා බැසුණු පෘෂ්ඨය හේතුවෙන් විශාල ආගාධයක් නිර්මාණය වීම සිදු වේ. මරියානා ආගාධය නිර්මාණය වී ඇත්තේ මෙලෙසිනි. මෙහිදී එකට ගැටී ඇති පෘෂ්ඨ දෙක වන්නේ පැසිපික් පෘෂ්ඨය හා පිලිපීන පෘෂ්ඨයයි. පැසිෆික් තැටිය වසර මිලියන 180ක් පමණ පැරණි වේ. පිලිපීන තැටිය පැසිපික් තැටිය තරම් පැරණි නොවේ.
මරියානා ආගාධයේ කිමිදීම
මරියානා අගාධයේ ඇති අධික ගැඹුර නිසා මෙය දැඩි කලුවරකින් හා ශීතලකින් යුතු වේ. මිට අමතරව මෙහි ජලයේ පීඩනයද අධිකව පවතී. මරියානා ආගාධයට මේ වන තුරුම ගමන් කර ඇත්තේ එක් වාරයක් පමණි. ඒ වර්ෂ 1960 දී Jacques piccard හා Don Walsh නමැත්තන් විසිනි. පැය පහක කිමිදුමක නිරත වූ මොවුන්ට ගැඹුරු ප්‍රදේශ වල ඡායාරූප ගැනීමට නොහැකි විය. ඊට හේතුව රොන් මඩ හේතුවෙන් එම ප්‍රදේශය අපැහැදිලි වී තිබීමයි. මොවුන් කිමිදෙන තුරු විද්‍යාඥයින්ට තිබූ එක් ගැටලුවක් වුයේ මෙතරම් ගැඹුරු ස්ථානයක ජීවින් සිටිය හැකිද යන්නයි. මෙම ඉතිහාසගත කිමිදීමෙන් අනතුරුව එතරම් ගැඹුරක පවා ජීවින් ඇති බවට විද්‍යාඥයින් සොයා ගන්නා ලදී.
මෙහි ජීවත් වන සතුන්
මෑතකදී කරන ලද පරීක්ෂණ වලට අනුව මරියානා ආගාධයේ විවිධ වූ ජීවින් වාසය කරන බව සොයාගෙන ඇත. මෙහි ගැඹුරුම කොටස් වල ජිවත් වන සතුන් දැඩි පීඩනයකින් හා ඝන කළුවරේ ජිවත් වේ. Scripps ආයතනයේ ඉගනුම ලබන Gallo සිසුවා ප්‍රකාශ කර ඇති ආකාරයට මරියානා ආගාධයේ ආහාර ඉතාමත් සීමිත වේ. ගස් කොළ හා පැළෑටි අතරින් මෙම ප්‍රදේශයට ළඟා වීමට විශාල දුරක් පහළට ගමන් කළ යුතු වේ. මේ හේතුවෙන් මෙහි සිටින ඇතැම් ක්ෂුද්‍ර ජීවින් මීතේන්, සල්ෆර් වැනි රසායනික ද්‍රව්‍ය මත යැපේ.
මරියානා ආගාධයේ දැකිය හැකි සුලභ ජීවින් කොට්ඨාශ තුනක් වන්නේ xenophyophores, amphipods හා holothurians ය. මීට අමතරව මෙහි පතුලේ ඇති මඩ තට්ටු වල ක්ෂුද්‍ර ජීවින් වර්ග 200ක් පමණ ජීවත් වන බව සොයා ගෙන ඇත. අවාසනාවකට වර්තමානයේදී ගැඹුරු මුහුද මිනිසුන්ගේ අපද්‍රව්‍ය එක් රැස් වන තැනක් බවට පත් වී ඇත. පරීක්ෂණ වලින් හෙළි වී ඇති ආකාරයට 1970 වසරේදී තහනම් කරන ලද මිනිසා නිපද වූ විවිධ රසායනික ද්‍රව්‍ය තවමත් මෙම ගැඹුරු මුහුදු ප්‍රදේශ වල සැඟ වී ඇත.
නීතිමය බලය ඇත්තේ කාටද
සීමා කරන ලද ආර්ථික කලාප වලට අනුව මුහුදේ ඇති ජීවි හා අජීවී සම්පත් පිළිබඳ රටකට අයිතිය ඇත්තේ එහි වෙරළ තිරයේ සිට නාවික සැතපුම් 200ක් යනතුරු පමණි. මරියානා දූපත් වල පිහිටීමට ආසන්නතම රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එම නිසා මරියානා ආගාධය සම්බන්ධයෙන් අධිකරණ බලය ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි.
මරියානා ආගාධය පිළිබඳ අප්‍රකට තොරතුරු 10 ක්
01. මරියානාව තවමත් නොවිසුදුනු අභිරහසක උරුමකරුවෙක්
1960දී මරියානාව තරණය කල පලමු ගවේෂකයන් වූ ඩොන් වෝල්ෂ් හා ජැක් පිකාඩ් ඔවුන්ගේ ගවේෂණය අතරතුර එක්තරා අමුතු අත්දැකීමකට මුහුණ දෙනව. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ යම් කිසි වස්තුවක් හෝ ජීවියෙකු ඔවුන්ගේ සබ්මැරීන් වෙසලය වටා ලුහුබැද පැමිණි බවයි. එම වස්තුව හෝ ජීවියා ඔවුන්ව හොදින් නිරීක්ෂණය කල බව ඔවුන් පවසනවා.
1985දී සාගර පතුලේ විවිධ නිරීක්ෂණය කිරීම හා සාගර පතුලෙන් පරීක්ෂණ සාම්පල රැගෙන එම සිදුකල Gloma Challenger නෞකාවද ඉතාමත් අපූරු අත්දැකීමකට මුහුන දෙනවා. ඔවුන් විසින් මරියානාවේ ගැඹුර නිරීක්ෂණයට විශාල යකඩ බෝලයක් වැනි යමක් කේබල් ආදාරයෙන් මුහුදු පතුලට යවනු ලැබුව. එහිදී ඔවුන් එක්වරම කේබල් වල ඇදීමක් නිරීක්ෂණය කලා. දිගින් දිගටම මෙය සිදුවුනු නිසා ඔවුන් යකඩ බෝලය උඩට ඇදීම සිදුකලා. එය උඩට ඇද්ද විට ඔවුන් දැක තිබිණේ යකඩ බෝලයේ හැඩය වෙනස් වී ඇති අයුරුයි. යමක එය ගැටි හෝ කිසියම් සතෙක් විසින් එය සපා කා තිබුණා.
The Meg, Deep Rising වැනි චිත්‍රපට මරියානා ආගාදයේ ජීවත් වනවායැයි සැක කරන විශාල සතුන් පිලිබදව සැකසූවන්. වඩාත්ම ජනප්‍රිය පිලිගැනීම නම් මීට වසර 3.6කට පෙර මෙලොවින් වදවී ගිය Megalodon නම් මෝරුන් විශේෂයේ අවසාන ජීවියා තාමත් මරියානාව තුල ජීවත්වන බවයි. අපි කලින් සදහන් කල අවස්තා දෙකද සමහර සාගර ගවේෂකයන් megalodon හා සම්බන්ධ කරනව. Megalodon මෝරෙක් අද හමුවන විශාල මිනී මෝරෙක්ට වඩා තුන් ගුණයකට වඩා අවම වශයෙන් විශාලයි.
දැල්ලන් බූවල්ලන් නෞකා පහර දුන් බව අතීත කතා වල සදහන් වෙනවා. මේ පිලිබද විදිමත් සාක්ෂි නොමැති වුවත් එවැනි සතුන් පිලිබද බලාපොරොත්තු තවදුරටත් වැඩි කරමින් ගැඹුරු ජපන් මුහුදේදී මීටර් 13ක් දිග දැල්ලෙකු සමුවුනා. මෙවැනි සතුන් ගැඹුරු මුහුදු කලාප වල සැගවී ජීවත්වන බව සාගර විද්‍යාවේදීන්ගේ මතයයි.
02. මරියානාව ලොව විචිත්‍රත්වත්ම පරිසර පද්ධතියක්
මරියානා ආගාදය සාගර ජලජ ජීවීන් විශේෂ අති විශාල සංඛ්‍යාවකින් සැදුම්ලත් වාසභූමියක් කිව්වොත් එහි වරදක් නැහැ. මෙහි ජීවත්වන සත්ව විශේෂ බොහොමයක් අදටත් ගවේෂණය කර නොමැති බව සාගර විද්‍යාවේදීන්ගේ මතයයි. ඉතා අදුරු පරිසරයක් තුල විචිත්‍රවත් එලි විහිදුවමින් ඔබ මොබ යන සිරුර විනිවිද පෙනන ජීවී විශේෂ සාගර පත්ල ආසන්නයේ දුටුවන් වශී කරන දර්ෂණයක් වනවා. ක්ෂුද්‍රජීවීන් , ශාක විශේෂ, මොලස්කාවන් මෙන්ම ලොව අනෙක් ප්‍රදේශ වල දැකිය නොහැකි දුටුවන් බිය ගන්වන මත්ස්‍ය විශේෂ මරියානාවට බිය මුසුකල සුන්දරත්වයක් එක් කොට තිබෙනව. මෙම පරිසර පද්ධතිය තුලත් මෙම ජිවී විශේෂ එකිනෙකා මත යැපෙමින් ජීවත් වනවා.
ලොව ගැඹුරුම මුහුදේ ජීවත්වන මාලුවා මරියානා ස්නෙයිල් ෆ්ෂ් (snail fish) ලෙස හදුන්වනවා. ස්නෙයිල් ෆ්ෂ් මුහුදු මට්ටමේ සිට මීටර් 8000ක් තරම් ගැඹුරින් ජීවත් වන සුවිශේෂී මත්ස්‍ය විශේෂයක්. අධික පීඩනයක් සහිත පරිසරයක කටුවක් දරන ජීවීන්ට ජීවත් විය නොහැකියි. මන්ද පීඩනය වැඩිවීම නිසා කටුව කැඩී විනාශ වී යා හැකි බැවින්. නමුත් මරියානා මුහුදු පතුලේ බෙල්ලන් විශේෂයක් ජීවත් වෙනව. මරියානාවේ ඛනිජ ලවණ සහිත ස්තානවල මොවුන් ජීවත් බවයි අධ්‍යනය කර ඇත්තේ. ඉතාමත් සුවිශේෂී සතුන් කොට්ටාශයක් ලෙසයි මෙම බෙල්ලන් සැලකෙන්නේ.
ලොව වෙන කිසිම තැනක දැකගත නොහැකි විකෘති මෝර විශේෂ කිහිපයක් මරියානාවේ ජීවත් වනවා. මීටර් 5000ක් තරම් ගැඹුරින් ජීවත් වන දත් 300කට ආසන්න සංඛ්‍යාවක් ඇති Frilled Shark , ඉදිරියට නෙරාගිය හොටක් වැනි අවයවයක් ඇති Goblin Shark , whale shark ගණයට අයත් ගැඹුරු මුහුදේ හමුවන Vampire Shark වැනි මෝර විශේෂ දුටුවන් ඕණෑම කෙනෙකු බිය ගන්වා මරා දැමීමට හැකි තරම් විකෘති ජීවීන්.
Hatchet Fish, Zombi Worm, Telescope Octopus, Seadevil Anglerfish වැනි මත්‍ය හා ජීවී විශේෂ ඉතා විචිත්‍රවත් පරිසරයක් නිර්මාණය කර තිබෙනව. සාගරයේ වෙන කිසිදු පරිසරයක් මෙතරම් විවිධත්වයකින් හා විචිත්‍රත්වයකින් යුක්ත නොවන බවයි සාගර විද්‍යාවේදීන් පවසන්නේ. අවාසනාවකට ඔවුන් තවම මෙහි ජීවත් වන ජීවීන්ගෙන් හදුනාගෙන ඇත්තේ ඉතා සුලු ප්‍රමාණයක්.
03. මිනිසුන්ගෙන් සැගවී තිබෙන මරියානා ආගාදයෙත් ප්ලාස්ටික් බෑගයක් හමුවෙලා
මරියානා ආගාදය වසර 100ක පමණ කාලයක සිට මිනිසුන් විසින් ගවේෂණයට උත්සහ ගන්නවා. මිනිසුන් රහිත යානා යොදාගනිමින් මරියානා පතුල අධ්‍යනයට සාගර විද්‍යාවේදීන් පසුගිය වසර 30ක කාලය තුල 5000 වාරයකට වඩා උත්සහගෙන තිබෙනවා. 2019දී වික්ටර් වෙස්කෝ මරියානා පතුල වෙත ගිය ගවේෂණයේදී ඔහු විසින් විචිත්‍රවත් ජීවීන් මෙන්ම තවත් කිසිලෙසකත් බලාපොරොත්තු නොවූ දෙයක් අධ්‍යනය කරනවා. ඒ තමයි ප්ලාස්ටික් / පොලිතීන් බෑගයක්. එය කෙලෙස කිලෝමීටර් 10.9ක් ගැඹුරු මුහුදු පතුලට පැමිණියේදැයි සාගර විද්‍යාවේදීන් පුදුමයට පත් වුනා. කෙසේ නමුත් මින් එක් දෙයක් පැහැදිලි වනවා. ඒ ඕණෑම සුන්දර පරිසරයක් මනුෂ්‍යයින්ට හිත් පිත් නොමැතිව විනාශ කර දැමිය හැකි බව.
04. ශැම්පේන් විවරය
පෘථිවියේ ඝණත්වය අඩු ස්ථාන වලින් පෘථිවි අභ්‍යන්තරයේ ඇති විවිධ වායු හා ලාවා ඉවතට පැමිණෙන බව අප ඔබට මින් පෙර සදහන් කලා. ශැම්පේන් විවරයත් එවැනිම ස්තානයක්. හැබැයි මෙකෙ විශේෂත්වය තමයි මෙම විවරයෙන් ඉවතට එන්නෙ කාබන් ඩයොක්සයිඩ් (Co2). මෙලෙස කාබන් ඩයොක්සයිඩ් ඉවතට විදින මුහුදු පතුලකින් සොයාගත් එකම ස්තානය මෙයයි. 2005 වසරේදී තමයි මරියානා ගවේෂණ කණ්ඩායමක් විසින් මෙම විවරය හොයා ගත්තෙ. මෙම විවරය අවට දියර කාබන් ඩයොක්සයිඩ් තිබෙන බවත් හොයාගෙන තියෙනව. එම නිසා මෙම ප්‍රදේශය අවට උෂ්ණත්ව ඉතා අඩු බව ඔවුන් සදහන් කරනව.
05. මරියානාව නෞකා හා ගුවන් යානා වල සුසාන භූමියක්
මරියානා ආගාදයේදී ගිලී ගිය නෞකා සංඛ්‍යාව හරිහැටි ගණනය කිරීමට පවා නොහැකි බවයි මූලාශ්‍ර වාර්තා කර ඇත්තේ. විදෙස් මාධ්‍ය වාර්තා පවසන ආකාරයට දෙවන ලෝක යුද්ධය සමයේ පමණක් මරියානාවේ නෞකා 150කට වඩා වැඩි සංඛ්‍යාවක් ගිලීගොස් තිබෙනවා. එනම් දහස් ගණනකගේ ජීවිත මරියානාව මුහුදු පතුලට රැගෙන ගොස් තිබෙනවා.
1996දී මරියානාවට අයත් සීමාවේ අඩි 18,900ක් ගැඹුරේ තිබේ SS Rio Grande නම් ජර්මානු නෞකාව ගවේෂණය කරනු ලැබුවා. එය එවකට ගිනස් වාර්තාව හෙබවූ ගවේෂණයක් බවටත් පත්වුනා. ගුවන් යානා 100කට අධික සංඛ්‍යාවක් මරියානාවට අයත් සාගර කලාපයේ මුහුදුබත් වී තිබෙන බව වාර්තා වනවා. දෙවන ලෝක යුද්ධය සමයේ මරියානාවට ඉහල අහසේ ජපාන හා ඇමරිකානු හමුදා දැවැන්ත ගැටුමකට මුල පිරුවා. ජපානය අඩ පන කිරීම සදහා ඇමරිකානු හමුදා දියත් කල මෙම ගැටුමේදී දෙපාර්ෂවයේම ගුවන් යානා 117කට වැඩි සංඛ්‍යාවක් විනාශ වූ බව වාර්තා වනවා. මෙම ගැටුමෙන් විශාල සෙබලුන් සංඛ්‍යාවක් මිය ගියා. 200කට වැඩි සෙබලු ප්‍රමාණයක් තුවාල ලැබුවා. මෙම යුද්ධය ප්‍රකට Great Mariana Battle ලෙස ඉතිහාසයේ ලිය වී තිබෙනව. කෙසේ නමුත් මෙලෙස ගිලීගිය නව්කා හා කඩා වැටුනු ගුවන් යානා බොහොමයක කොටස් අද වන විට සොයා ගැනීමට නොමැති බවයි වාර්තා වෙන්නෙ.
06. මරියානා මුහුදු පතුලේ උෂ්ණත්වය තැනින් තැනට වෙනස් වෙනව
මරියානාවේ ගැඹුර නිසාවෙන් හිරු එලිය කිසිදු විදිහකට මුහුදු පතුල කරා ගමන් කරන්නේ නෑ. අයිස් කදු කිසිවක් ආසන්නයේ නොමැති වුවද මරියානා ආගාධයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 සිට 1 දක්වා වෙනස්වන බව සාගර විද්‍යාවේදීන් අධ්‍යනය කර තිබෙනව. පෘථිවියේ සුමට පෘෂ්ට නැතිනම් ගණකමින් අඩු ස්ථාන වලින් පෘථිවි අභ්‍යන්තරයේ සිට ගලා එන ලාවා පෘථිවි මතුපිටට ගැලීම සිදුකරනවා. මරියානාව තුලත් මෙවැනි ස්තාන ඕණෑ තරම් තිබෙනව. මෙම ස්ථාන අධික උණුසුමකින් යුක්ත වනවා. නිවැරදිව උණුසුම සටහන් කලහොත් එය සෙල්සියස් අංශක 450ක් දක්වා උණුසුම් වීමට හැකි බවයි සාගර විද්‍යාවේදීන් පවසන්නේ. නමුත් මෙහි තවත් අතුරු ඵලයක් තිබෙනව. මෙලෙස ඉවතට පැමිණෙන ලාවා වල සංඝටක මුහුදු පතුලේ විවිධාකාර ලෙස තැන්පත් වීම සිදුවනවා. සමහර විට ඒවා කොරල් හැඩයක් ගන්නවා. මෙවැනි දේ සාගර ජීවීන්ට ජනාවාස තනා ගැනිමට ආදාර වෙනව. ජලයේ අධික පීඩනය නිසා මෙහි උෂ්ණත්වය බොහෝ වේලාවක් රැදී නොතිබෙන බව සදහන් වනව. එම නිසා ජලජ ජීවීන්ට මෙහි සුරැකිව රැදී ඉන්න පුලුවන්. එපමණක් නොවෙයි හිරු එළිය නොමැති පරිසරයක ජීවත්වන ජලජ ජීවීන්ට අවශ්‍ය ශක්තිය නිපදවා ගන්න මෙම ලාවා සමග පිටතට එන ඛනිජ ලවණ ආදාර වන බව සදහන් වනවා.
07. මරියානාවේ පතුල කහ පැහැයක් ගනී
මරියානා ආගාදයේ පතුල එහි සියලු සාගර ජීවීන්ගේ සොහොන් භූමියයි. මිය යන ශාක විශාල ප්‍රමාණයක් මෙන්ම මිය යන සතුන් විශාල ප්‍රමාණයක්ද මෙම සාගර පතුලේ තැන්පත්ව ඇත. මෙලෙස විශාල ලෙස මියයන ජීවීන්ගේ සිරුරු හා ශාක කොටස් මුහුදු පතුලට එකතු වීම නිසා මෙම කහ පැහැය ඇතිවී ඇති බව සාගර විද්‍යාවේදීන් පැහැදිලි කරයි.
තවදුරටත් පැවසුවහොත් මෙම කහ පැහැති සාගර පතුලේ වැලි පවතින්නෙ බොහෝ සුලු ප්‍රමාණයක්. එහි පතුල බොහෝ පව්ඩර් ස්වභාවයකින් යුක්ත වෙනව. එයට හේතුව වසර ගණනාවක් පුරාවට මිය ගිය විවිධ ශාක වර්ග ඇතුලු සාගර ජීවීන්ගේ කොටස් මුහුදු පතුලට එකතු වී දිරාපත්වීම නිසා බවයි සාගර විද්‍යාවේදීන් සදහන් කරන්නෙ.
08. පෘථිවියේ හමුවූ විශාලම ඇමීබාවන් හමුවූයේ මරියානාවේ
ඇමීබා ඒක සෛලීක ජීවියෙක්. සාමාන්‍ය ඇමීබාවන් ප්‍රමාණයෙන් මයික්‍රෝණ 2ක් 3ක් වන අතර විශාල ඇමීබාවෙක් මයික්‍රෝණ 400ත් 600ත් අතර අගයක් වනවා. මයික්‍රෝණ 10000ක් සෙන්ටි මීටර් එකකට සමාන වන අතර ඇමීබාවාගේ ප්‍රමාණය ඉතා කුඩා බව ඔබට වැටහෙනු ඇත. නමුත් මරියානා ආගාදය තුල පියවි ඇසින් දැකිය හැකි ඇමීබාවන් හමුවී තිබේ.
මෙම ඇමීබාවන් ප්‍රමාණයෙන් සෙන්ටි මීටර් 10ත් 20ත් අතර විශාල ඇමීබා විශේෂයන් වේ. මොවුන් අධ්‍යනය කරනු ලැබුවේ මරියානාවේ ගැඹුරුම ස්තාන වල වීම විශේෂත්වයක්. මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10.5 පමණ ගැඹුරින් ඉතා අදුරු ස්ථාන වල මෙම ජීවීන් සැරිසරන අතර විචිත්‍රවත් සිරුරු වලින් යුක්ත වන බව වාර්තා වනවා.
09. මරියානාවේ ජල පීඩනය වායුගෝලීය පීඩනය මෙන් 1000 ගුණයකට වැඩී
මාරියානාව මුහුදේ ඇති අගලකට නැතිනම් වලකට සමානයි. කිලෝමීටර් 11කට ආසන්න ගැඹුරක ජලය පිරී තිබෙන විට මතුපිටින් ඇතිවන පීඩනය ඉතාමත් ඉහලයි. සාමාන්‍ය මතුපිටක ඇතිවන වායුගෝලීය පීඩනය PSI 14.7ක් පමණ වෙනවා. ඒ කියන්නෙ වර්ග අගලකට රාත්තල් 14.7ක්. නමුත් මෙම අගය මරියානා පතුලේ PSI 15,750ක් වන බවයි සදහන් වන්නේ. ඒ වගෙම සාමාන්‍යය ගැඹුරු මුහුදු පතුලක මෙම පීඩන අගය සදහන් වන්නේ PSI 3000ත් 9000ත් අතර අගයක් ලෙසයි.
10. මරියානා ආගාධයට එවරස්ට් කන්ද ගිල ගන්න පුලුවන්
මරියානාවේ ගැඹුර කිලෝමීටර් 11ක් හා පළල කිලෝමීටර් 69ක් වනවා. එය පෘථිවියේ ගැඹුරුම ස්ථානයයි. පෘථිවියේ උසම ස්ථානය ඉන්දියාවට මායිම් වන එවරස්ට් (Everest) කදු මුදුනයි. එවරස්ට් උසින් කිලෝමීටර් 8.848ක් පමණයි වන්නේ. මේ නිසා එවරස්ට් මරියානාවේ ගිල්ලුවොත් එය ඇසට නොපෙනීයන තෙක් ගිලී යාවී. මරියානාවේ ගැඹුර පිලිබදව විවිධකාර මතවාද පවතී. තවමත් හරිහැටි මෙහි ගැඹුර සොයාගෙන නොමැති බවට සාගර විද්‍යාවේදීන් කොටසක් තර්ක කරනු ලබනවා. කෙසේ නමුත් 1960 වර්ෂයේදී සාගර ගවේෂකයන් දෙපලක් වන ඩොන් වෝල්ෂ් (Don Walsh) හා ජැක් පිකාඩ් (Jacques Piccard) මෙහි ගැඹුර පිලිබද ගවේෂණයක් සිදුකලා. ඔවුන් කුඩා සබ්මැරීන් වෙසලයක් ආදාරයෙන් ආගාදයේ කිලෝමීටර් 10.9ක ගැඹුරක් දක්වා ගමන් කලා. ඔවුන් ගමන් කල උපරිම ගැඹුර Challanger Deep ලෙස හදුන්වනවා. මෙය මරියානාවේ ගැඹුර සෙවීමට ගත් මුල්ම සාර්ථක උත්සහයයි ලෙසයි සැලකෙන්නේ.
මුල්ම කාලේ මරියානාවේ ගැඹුර සොයන්න උත්සහ කලේ ඊයම් පඩි ඇල්ලු ලණු භාවිතා කරල. 2012 වසරේදී ටයිටනික්, ඇවටාර් හා ටර්මිනේටර් වැනි චිත්‍රපට රැසක් නිර්මාණය කල ප්‍රකට කැනේඩියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් (James Cameron) මරියානාවේ උපරිම ගැඹුරක් කරා ලගාවීමට ගවේෂණයක් සිදුකලා. ඔහු කුඩා සබ්මැරීනයක් ආදාරයෙන් මරියානාවේ කිලෝමීටර් 10.8ක් දක්වා ගමන් කල බව වාර්තා වනවා. ජේම්ස් කැමරන්ගේ මෙම උත්සහය තනි පුද්ගලයෙකු මරියානාව තරණය කල පලමු අවස්තාව ලෙස ඉතිහාසයට එක් වුනා.
මරියානාව තරණයේදී
බොහෝ මාධ්‍ය වාර්තා කරන්නේ මරියානාව තරණය කලේ පුද්ගලයන් තිදෙනෙකු පමණක් බවයි. නමුත් 2019 වසරේදී ඇමරිකානු ජාතික සාගර ගවේෂකයෙක් වූ වික්ටර් වෙස්කෝවෝ (Victor Veskovo) මරියානා ආගාදයේ චැලෙන්ජර් ඩීප් එක දක්වා තනිව වෙසලයක් ආධාරයෙන් ගමන් කලා. එය තනිව පුද්ගලයෙක් මරියානා පතුල තරණය කල දෙවන අවස්තාවයි. නමුත් වික්ටර්, ජේම්ස් කැමරන්ට වඩා තව එක් කිලෝමීටරයක් වැඩි දුර ගොස් එනම් කිලෝමීටර් 10.9ක් තරණය කොට චැලෙන්ජර් ඩීප් එකටම ලගා වී තිබුනා. වැදගත්ම කාරණය නම් තාක්ෂණය මෙතරම් දියුණු යුගයක තවමත් මරියානාව තරණය කිරීමට සමත් වී ඇත්තේ පුද්ගලයින් සිව් දෙනෙකු විසින් අවස්තා තුනකදී පමණක් වීමයි.
Source - අන්තර්ජාලය , mantrana
Rate This Article
Thanks for reading: ලොව ගැඹුරුම ආගාධය සොයා යමු - මරියානා ආගාධය පිළිබඳ අප්‍රකට තොරතුරු 10 ක්, Stay tune to get latest Blogging Tips.