Posts

ලොව ප්‍රථම වරට, ජාන වෙනස් කළ ඌරු හදවතක් මිනිසකුට බද්ධ කෙරේ


 

ලොව ප්‍රථම වරට, ජාන වෙනස් කළ ඌරු හදවතක් මිනිසකුට බද්ධ කෙරේ

ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කරනු ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබේ.

බල්ටිමෝර් නගරයේ දී, පැය හතක අත්හදා බැලීමේ ශල්‍යකර්මයකට බඳුන්වූ 57 හැවිරිදි ඩේවිඩ් බෙනට්, දින තුනක් ගතවූ පසුව ද හොඳ සෞඛ්‍ය මට්ටමක පසුවන බව වෛද්‍යවරු පවසති.

බෙනට්ගේ ජීවිතය රැක ගැනීමේ අවසාන බලාපොරොත්තුව ලෙස මෙම බද්ධ කිරීම සිදුකෙරුණු නමුත්, එහි දිගුකාලීන බලපෑම කෙසේ වනු ඇති ද යන්න තවමත් පැහැදිලි නැත.

"එක්කෝ බද්ධ කරගන්න වෙනවා, නැත්නම් මැරෙන්න වෙනවා," ශල්‍යකර්මයට දිනකට පෙර බෙනට් පැවසීය.

"මේක හරියන්න හෝ වරදින්න පුළුවන්. ඒත් මේක තමයි මගේ අන්තිම තුරුම්පුව," ඔහු කියා සිටියේ ය.

මෙම ක්‍රියා පටිපාටිය සිදු කිරීම සඳහා, එක්සත් ජනපද වෛද්‍ය නියාමකවරයා විසින් මේරිලන්ඩ් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ට විශේෂ අවසරයක් ලබා දෙන ලද්දේ, එසේ නොවුවහොත් බෙනට් මියයනු ඇති බැවිනි.

ඔහු මිනිස් හෘදයක් ලැබීම සඳහා නුසුදුස්සෙකු ලෙස සැලකුණු අතර, රෝගියා ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන විට වෛද්‍යවරුන් මෙවන් තීරණ ගනු ලබයි.

බද්ධ කිරීම සිදු කළ වෛද්‍ය කණ්ඩායම වසර ගණනාවක් පුරාවට කළ පර්යේෂණවල අග්‍රඵලය සනිටුහන් කරන මෙම ශල්‍යකර්මය, ලොව පුරා ජීවිත රැසකට නව බලාපොරොත්තු ගෙන දෙන්නකි.

මේරිලන්ඩ් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය නිකුත් කළ නිවේදනයක් හරහා ශල්‍ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත් කියා සිටියේ මෙම සැත්කම ලෝකයේ, "අවයව හිඟතා අර්බුදය විසඳීමට ඉදිරි පියවරක් වනු ඇති" බව යි. එක්සත් ජනපදය තුළ දිනකට පුද්ගලයින් 17 දෙනෙකු අවයව බද්ධ කිරීම් බලාපොරොත්තුවෙන් සිට මියයන අතර, 100,000කට වැඩි පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව වාර්තා වේ.

විවිධ විශේෂවල ජීවීන් අතර අවයව හෝ පටක බද්ධ කිරීමේ ක්‍රියාවලිය හෙවත් 'විශේෂාන්තර පටකබද්ධය' හරහා, දැනට අවයව සඳහා ලොව ඇති ඉල්ලුම සපුරාලීමට මිනිසාට සත්ත්ව අවයව බද්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් දිගු කලක් පර්යේෂණ කටයුතු සිදුවූ අතර, ඌරු හෘත් කපාට මිනිසුන්ට බද්ධ කිරීම දැනටමත් සිදු කෙරේ.

2021 ඔක්තෝම්බර් මාසයේ දී නිව් යෝර්ක්හි ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක්, ඌරෙකුගේ වකුගඩුවක් මිනිසකුට සාර්ථකව බද්ධ කළ බව ප්‍රකාශ කළහ. එම සැත්කම මෙතෙක් ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ කෙරුණු දියුණුම අත්හදා බැලීම විය.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී අවයවය ලැබූ තැනැත්තා මොළය මියගොස් සිටි අයෙකු විය.

කෙසේ වෙතත්, බෙනට් බලාපොරොත්තු වන්නේ මෙම බද්ධ කිරීම ඔහුගේ ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වනු ඇති බව යි. ශල්‍යකර්මයට පෙර සති හයක් ඔහු රෝගාතුරව සිටි අතර, මාරාන්තික හෘද රෝගයක් ඇති බව හඳුනාගැනීමෙන් පසු ඔහු ජීවත් වූයේ යන්ත්‍රයක ආධාරයෙනි.

"මම බලාගෙන ඉන්නේ ලෙඩේ හොඳවෙලා, ඇඳෙන් බහින්න යි," ඔහු පසුගිය සතියේ පැවසීය.

වෛද්‍ය නිරීක්ෂණය යටතේ සිටි බෙනට් ඉකුත් සඳුදා තනිවම හුස්ම ගැනීමට පටන්ගත් බවට වාර්තා විය.

නමුත් ඊළඟට කුමක් සිදුවේ ද යන්න නිශ්චිත නැත. AFP පුවත් සේවය වාර්තා කරන්නේ බෙනට්ගේ ශරීරය විසින් අවයවය ප්‍රතික්ෂේප කිරීමට හේතුවිය හැකි ජාන කිහිපයක් ඉවත් වන පරිදි අදාල ඌරා ජානමය වශයෙන් වෙනස්කම්වලට භාජනයකොට තිබූ බව යි.

ශල්‍ය වෛද්‍ය ග්‍රිෆිත්, තම කණ්ඩායම බෙනට් ඉතා හොඳින් නිරීක්ෂණය කරනු ලබන බව ප්‍රකාශ කළ අතර, අවයවලාභී බෙනට්ගේ පුත්‍රයා වන කණිෂ්ඨ ඩේවිඩ් බෙනට් ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වෙත පැවසුවේ පවුලේ සාමාජිකයන් ඉදිරිය පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් පසුවන බව ය.

"සැත්කමේ බරපතලකම වගේම වැදගත්කමත් එයා දන්නවා," ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

"අපි මෙහෙම දෙයක් කවදාවත් මනුස්සයෙක් යොදාගෙන කරලා නැහැ. ප්‍රතිකාර දිගටම කරගෙන යනවාට වඩා හොඳ විකල්පයක් අපි ඔහුට දුන්නා කියලා හිතන්නයි මම කැමති," ශල්‍ය වෛද්‍ය ග්‍රිෆිත් පැවසීය. "ඒත් ඔහු [ජීවත් වෙන්නේ] දවසක් ද සතියක් ද මාසයක් ද අවුරුද්දක් ද කියන්න නම් මම දන්නේ නැහැ."

මූලාශ්‍රය - BBC

Rate This Article

Thanks for reading: ලොව ප්‍රථම වරට, ජාන වෙනස් කළ ඌරු හදවතක් මිනිසකුට බද්ධ කෙරේ, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.